Ultimate magazine theme for WordPress.

IPL 2023 Final : අදත් සුළු වැසි ; අතිරේක දිනයත් වැස්සට සේදී ගියොත් මොකද වෙන්නේ ?

ඊයේ(28) රාත්‍රියේ පැවැති වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අතිරේක දිනය වන අද(29) දිනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. චෙන්නායි සුපර් කිංග්ස් හා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත අවසන් තරගය සුපුරුදු පරිදි රාත්‍රී 7.30ට අහ්මදාබාද් හී දී ආරම්භ වීමට නියමිතයි.

වර්ෂාව හේතුවෙන් ඊයේ දිනයේ දී කාසියේ වාසිය උරගා බැලීමක් හෝ සිදු කෙරුණේ නැහැ. රාත්‍රී 9ට පමණ වර්ෂාව තාවකාලිකව නතර වූයේ තරගය ආරම්භය පිළිබද යම් බලාපොරොත්තුවක් එක්කරමින්. කෙසේ වෙතත්, මිනිත්තු 25 කට පමණ පසුව ක්‍රීඩාංගනයට යළි ධාරිණිපාත වර්ෂාවක් ඇදහැළුනු අතර, රාත්‍රී 10.50 ට පමණ වර්ෂාව නතර වුණා.

නමුත්, පවතින තත්ත්වය සලකා බලා තරගය අද දිනය දක්වා කල් දැමීමටයි තීරණය කෙරුණේ. වර්ෂාවෙන් පසුව තරගයක් ආරම්භ කිරීම සදහා ක්‍රීඩාංගනය සකස් කිරීමටනම් පැයක පමණ කාලයක් ක්‍රීඩාංගන සේවකයින්ට අවශ්‍ය වනවා.

අද දිනයේ දී ද වැසි වළාකුළු සහිත අහසක් අහ්මදාබාද් ප්‍රදේශයට අපේක්ෂා කෙරෙන අතර, වර්ෂාව ඇදහැලීමේ සම්භාවිතාවක් ද සුළු මට්ටමකින් පවතිනවා. ඉරිදා දිනය සදහා ද මෙවැනිම කාළගුණ අනාවැකියක් පල කර තිබූ පසුබිමකයි රාත්‍රී කාලයේ දී ධාරාණිපාත වර්ෂාවක් ඇදහැලුණේ.

අද දිනයේ දී ද පන්දුවාර 20 කින් යුත් සම්පූර්ණ තරගයක් පැවැත්වීමටනම් තරගය අවම වශයෙන් රාත්‍රී 9.35 ට ආරම්භ කළ යුතුයි. එම කාලයෙන් පසුව තරගය ආරම්භ වන්නේනම් ඉනිමක පන්දුවාර සංඛ්‍යාව අඩු කරමින් තරගය පැවැත්වීමට කටයුතු කෙරෙනවා.

පන්දුවාර 5ක තරගයක් ලෙස තරගය පැවැත්වීමටනම් අවසන් මහා තරගය අලුයම 12.06 ට ආරම්භ කළ යුතුයි.

පන්දුවාර 5ක තරගයක් ලෙස හෝ අවසන් තරගය පැවැත්වීමට නොහැකි වුවහොත් සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කරමින් තරගයේ ජයග්‍රාහකයා තීරණය කිරීමට කටයුතු යොදනු ඇති.

සුපිරි පන්දුවාරයක් හෝ පැවැත්වීමට නොහැකි වුවහොත් ලීග් වටයේ දී ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින් පසු වූ කණ්ඩායමට තරගාවලියේ ශූරතාවය පිරිනැමීමටයි නියමිතයි. ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගත් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට මෙවර අයි.පී.එල් තරගාවලියේ ශූරතාවය හිමි වනු ඇති.