Ultimate magazine theme for WordPress.

IPL බේර ගන්න ඉන්දියාව ලංකාවට අමතයි; T20 ලෝක කුසලානය මෙරට දී පැවැත්වීමේ සූදානමක්

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමේ හැකියාව සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනය සහ මෙරට ක්‍රිකට් ආයතනය අතර සාකච්ඡා ආරම්භ වී තිබෙනවා.

මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ඉන්දියාවට හිමිව ඇතත්, එය ඉන්දියාවේ දී පැවැත්වීම අර්බුදයකට ලක්ව ඇත්තේ එරට තුළ පවතින කොවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන්.

පසුගිය පළමු වැනිදා පැවැති අයි.සී.සී රැස්වීමේ දී ද තරගාවලියේ සත්කාරකත්වය පිළිබද අවධානය යොමු වූ අතර, ඒ අනුව සත්කාරකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සදහා මාසයක කාලයක් ලබා දෙන ලෙසටයි ඉන්දියාව ජගත් ක්‍රිකට් කවුන්සලයට දැනුම් දුන්නේ.

ඒ සදහා අවසර ලබා දීමට අයි.සී.සීය කටයුතු කළ අතර, තරගාවලිය කුමන රටක පැවැත්වුවද එහි සත්කාරක අයිතිය ඉන්දීය ක්‍රිකට් ආයතනයට හිමි වන බව ද අයි.සී.සීය සදහන් කළා.

ඒ අනුව ඔක්තෝබර් – නොවැම්බර් මාසවල පැවැත්වීමට නියමිත 20යි 20 ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සහ ඕමානයේ දී පැවැත්වීම සම්බන්ධයෙනුයි මෙතෙක් අවධානය යොමුව තිබුණේ.

මෙහිදී ඉන්දියාව මුහුණ දී ඇති ප්‍රධාන ගැටලුවක් වී ඇත්තේ මෙවර අතරමගදී අත්හිටුවීමට කටයුතු කෙරුණු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග සැප්තැම්බර් – ඔක්තෝබර් මාසවලදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට කටයුතු යොදා තිබීමයි.

අයි.පී.එල් තරගාවලිය ඔක්තෝබර් 10 වැනිදා පමණ වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර, 20යි 20 ලෝක කුසලානය ඔක්තෝබර් 18 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

කෙසේ වෙතත්, ලෝක කුසලානයට අදාළ තරග පැවැත්වෙන ක්‍රීඩාංගන තරගාවලිය ආරම්භ වීමට දින 15කට පෙර ජගත් ක්‍රිකට් කවුන්සලය වෙත භාර දීම අනිවාර්යය කරුණක්.

එනම්, ඔක්තෝබර් 3 වැනිදා වන විට ක්‍රීඩාංගනවල භාරකාරත්වය අයි.සී.සීයට ලබා දිය යුතු වනවා.

කෙසේ වෙතත්, අයි.පී.එල් තරග ඊට පෙර අවසන් කිරීමට නොහැකි වීම හේතුවෙන් අදාළ ක්‍රීඩාංගන අයි.සී.සීය වෙත භාර දීමේ අවස්ථාවක් ඉන්දීය ක්‍රිකට් ආයතනයට හිමි වන්නේ නැහැ.

මෙම ගැටලුවට විසදුමක් ලෙස ඉන්දීය ක්‍රිකට් ආයතනය ඕමානය සමග ද සාකච්ඡා සිදු කරමින් සිටින්නේ ලෝක කුසලානයේ මූලික වටයේ තරග එරට දී පැවැත්වීමට හැකියාවක් පවතින්නේ ද යන්න සම්බන්ධයෙනුයි.

එසේ වුවහොත් මූලික වටයේ තරග පැවැත්වීම සදහා ඕමානයේ ක්‍රීඩාංගන/ක්‍රීඩාංගනයක් අයි.සී.සීය වෙත නියමිත කාලයට භාර දිය හැකි වනු ඇති.

අනතුරුව සුපිරි 12 වටයේ තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමටයි අවධානය යොමුව තිබුණේ.

කෙසේ වෙතත්, පාකිස්තාන සුපර් ලීග්, ද්විපාර්ශ්වික තරගාවලි මෙන්ම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ද ඉදිරියේ දී එක්සත් අරාබියේ දී පැවැත්වීමට නියමිතව ඇති බැවින්, ඒ තුළින් එරට ක්‍රීඩාංගන තුනෙහි (ඩුබායි, අබුඩාබි, සාජා) තණතීරු ලෝක කුසලානයක් පැවැත්වීම සදහා සුදුසු තත්ත්වයක නොපවතිනු ඇති බවට ද විශ්වාස කෙරෙනවා.

මෙවැනි පසුබිමක් යටතේයි ඉන්දීය ක්‍රිකට් බළධාරීන් ලෝක කුසලානයේ සත්කාරකත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා ආරම්භ කර ඇත්තේ.

තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වුවහොත්, අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරග 31 ගැටලුවකින් තොරව එක්සත් අරාබියේ දී පවත්වා අවසන් කළ හැකියි.

එක්සත් අරාබියට සාපේක්ෂාව ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර ක්‍රීඩාංගන රැසක් පවතින අතර, කොළඹ නගරයේ පමණක් ජාත්‍යන්තර ක්‍රීඩාංගන 3ක් පවතිනවා.

මීට පෙර ද ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි 3ක් (සම සත්කාරකත්වය සහිතව තරගාවලි 2ක්) මෙරට දී සාර්ථකව පැවැත්වීමට ද සමත් වුණා.

ලබන 28 වනදා වන විට ලෝක කුසලානයේ සත්කාරකත්වය සම්බන්ධයෙන් වන අවසන් තීරණය ඉන්දියාව විසින් ජගත් ක්‍රිකට් කවුන්සලය වෙත ලබා දිය යුතුයි.

Leave a comment