Ultimate magazine theme for WordPress.

IPL නිසා ඉන්දියාවෙන් CPL තරගාවලිය‍ට බලපෑම්; කමින්ස් IPL තරගාවලියෙන් ඉවතට

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සදහා ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් ක්‍රීඩා නොකරනු ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.

ඉන්දීය ක්‍රිකට් ආයතනය පසුගියදා(29) නිවේදනය කළේ මෙවර අතරමගදී අත්හිටුවීමට සිදු වූ අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරග සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පවත්වන බවයි.

කෙසේ වෙතත්, එම කාලයේ දී තරගාවලිය පැවැත්වීමේ දී ඉන්දීය ක්‍රිකට් ආයතනය මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් වන්නේ විදෙස් ක්‍රීඩකයින් තරගාවලියට සම්බන්ධ කර ගැනීමයි.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරගාවලි හේතුවෙන් ඔවුන් මෙම අර්බුදයට මුහුණ දී සිටිනවා.

එංගලන්ත ක්‍රීඩකයින් ඉතිරි අයි.පී.එල් තරග සදහා එක් නොවන බවට එරට ක්‍රිකට් ආයතනය ද මේ වන විටත් ඉගි පල කර තිබෙනවා.

විශේෂයෙන්ම එංගලන්ත කණ්ඩායම බංග්ලාදේශ සහ පාකිස්තාන තරග සංචාරයක නිරත වීමට නියමිතව තිබීම මෙන්ම 20යි 20 ලෝක කුසලානය අරමුණු කර ගනිමින් සිය ක්‍රීඩකයින්ට විවේකයක් ලබා දීම වැනි හේතු ඊට බලපා ඇති බව සදහන්.

ඒ අනුව ජොස් බට්ලර්, ජොනී බෙයාර්ස්ටව්, සෑම් කරන්, ක්‍රිස් වෝක්ස්, බෙන් ස්ටොක්ස් සහ ජොෆ්ර ආචර් ඇතුළු එංගලන්ත ක්‍රීඩකයින්ට අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරග සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති.

මේ අතර, නවසීලන්ත කණ්ඩායම ද සැප්තැම්බර් මාසයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරත වීමට නියමිතව ඇත්තේ පාකිස්තානයට එරෙහි තරගාවලියක් සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන්.

ඒ අනුව කේන් විලියම්සන්, ට්‍රෙන්ට් බෝලට්, ඇඩම් මිල්න්, මිචෙල් සැන්ට්නර්, ලුකී ෆර්ගියුසන්, ටිම් සෙයිෆර්ට්, ෆින් ඇලන්, ක්යිල් ජමිසන් යන නවසීලන්ත ක්‍රීඩකයින්ට ද අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරග අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.

මීට අමතරව ඇෆ්ඝනිස්තාන කණ්ඩායම ද අදාළ කාලයේ දී පාකිස්තානයට එරෙහි තරගාවලියක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බැවින් ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයින්ට ද ඉතිරි අයි.පී.එල් තරග සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමට ඉඩ ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම අගෝස්තු 28 වනදා සිට සැප්තැම්බර් 19 වනදා දක්වා පැවැත්වීමට නියමිත කැරිබියන් ප්‍රිමියර් ලීග් (සී.පී.එල්) තරගාවලිය ද අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරග සදහා බලපෑමක් එල්ල කර තිබෙනවා.

ඒ අනුව සී.පී.එල් තරගාවලියේ ආරම්භය දින 10කින් පමණ ආපස්සට ගන්නා ලෙසට ඉන්දීය ක්‍රිකට් ආයතනය කොදෙව් ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් ද සිදු කිරීමට නියමිතයි.

අයි.පී.එල් තරගාවලිය සැප්තැම්බර් 15 වනදා පමණ වන විට ආරම්භ වීමට ඉඩ ඇති අතර, ඒ අනුව සී.පී.එල් තරගාවලියට එක්වන ක්‍රීඩකයින්ට එක්සත් අරාබියට පැමිණ දින 7ක පමණ නිරෝධායනයකට ද ලක්වීමට සිදු වන බැවින් අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරග රැසක් ඔවුන්ට අහිමි වනු ඇති.

Leave a comment