Ultimate magazine theme for WordPress.

IPL සමග ගැටෙමින් PSL යළි ඇරඹෙන දිනය නිවේදනය කෙරේ

ඉන්දියාව හා පාකිස්තාන අතර ඇති වූ යුද උණුසුම හේතුවෙන් තාවකාලිකව අත්හිටු වූ පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග මැයි 17 වැනිදා සිට පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

එරට ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළේ තරගාවලියේ අවසන් මහා තරගය මැයි 25 වැනිදා පැවැත්වීමට නියමිත බවයි.

නමුත්, තරගාවලියේ ඉතිරි තරග අටට අදාළ තරග කාලසටහන හා තරග පැවැත්වෙන ක්‍රීඩාංගන පිළිබද තොරතුරු මෙතෙක් පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කර නැහැ.

තරගාවලියේ ඉතිරි තරග පාකිස්තානයේදීම පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

තරගාවලියේ සංවිධායකයින් හා කණ්ඩායම් බලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් සදුදා දිනයේදී පවත්වා තිබූ අතර, එහිදී ඉතිරි තරග පැවැත්වෙන ක්‍රීඩාංගන හා දින සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව සදහන්.

ඉතිරි තරග 8 වෙනුවෙන් විදෙස් ක්‍රීඩකයින් යළි ගෙන්වා ගැනීම බොහෝ කණ්ඩායම් මුහුණ දෙන ප්‍රබල ගැටලුවක් බවට පත්ව තිබෙනවා.

ඉන්දු-පාකිස්තාන යුද උණුසුම හමුවේ තාවකාලිකව අත්හිටුවූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ද ලබන 17 වැනිදා යළි ආරම්භ කිරීමට තීරණය කර ඇති පසුබිමකයි පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය ද යළි එදිනම ආරම්භ කිරීමට තීරණය කර ඇත්තේ.