Ultimate magazine theme for WordPress.

IPL තරගාවලියේ තරග කාලසටහන නිකුත් කෙරේ ; සත්කාරක හා සංචාර ආකෘතිය යළිත්

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අද(17) පස්වරුවේ නිවේදනය කළා.

පසුගිය තරග වාරයේ දී අයි.පී.එල් තරගාවලිය මුම්බායි, පූනේ හා අහ්මදාබාද් හී දී පමණක් පැවැති නමුත්, තරගාවලයේ 16 වැනි අදියර යළිත් සත්කාරක හා සංචාර ආකෘතිය (home and away format) යටතේ පැවැත්වෙන බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළේ.

ඒ අනුව සෑම කණ්ඩායමක්ම මෙවර තරගාවලියේ දී සිය සත්කාරක ක්‍රීඩාංගනයේ දී තරග 7 ක් ද, සංචාර ලෙස ප්‍රතිවාදී කණ්ඩායමේ සත්කාරක ක්‍රීඩාංගනයේ දී තරග 7 ක් ද ලීග් වටයේ දී ක්‍රීඩා කිරීමට නියමිතයි.

දින 52 ක් පුරා ලීග් වටයේ තරග 70 ක් ක්‍රීඩාංගන 12 කදී පැවැත්වීමට නියමිත බව ද එරට ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළා.

තරගාවලිය මාර්තු 31 වැනිදා ආරම්භ වන්නේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර අහ්මදාබාද් හී දී පැවැත්වෙන තරගයත් සමගයි.

අප්‍රේල් පළමු වැනිදා තරග දෙකක් පැවැත්වෙන අතර, එහිදී පංජාබ් කිංග්ස් කණ්ඩායම හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමත්, ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායමත් තරග වැදීමට නියමිතව තිබෙනවා.

මෙවර අයි.පී.එල් තරගාවලියේ දී එක් දිනකදී තරග දෙක බැගින් පැවැත්වෙන දින 18 ක් තරග කාලසටහනට ඇතුළත්.

දහවල් තරගය පස්වරු 3:30ට ද, රාත්‍රී තරගය 7:30ට ද ආරම්භ වීමට නියමිතයි.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මෙවර තරග වාරයේ දී සත්කාරකත්වය දරන පළමු තරග දෙක ගුවහාටි හී දී පැවැත්වෙන අතර, සෙසු සත්කාරක තරග ජායිපූර්හී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පංජාබ් කිංග්ස් කණ්ඩායම සිය සත්කාරකත්වය යටතේ ක්‍රීඩා කරන පළමු තරග 5 මොහාලි හී දී ක්‍රීඩා කිරීමට නියමිතයි. සත්කාරකත්වය දරන අවසන් තරග දෙක ඔවුන් ක්‍රීඩා කරන්නේ ධරම්ශාලා හී දී යි.

තරගාවලියේ අවසන් මහා තරගය මැයි 28 වැනිදා පැවැත්වෙන අතර, අවසන් වටයේ තරග කාලසටහන හා ක්‍රීඩාංගන ඉදිරියේ දී නිවේදනය කරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළා.

BCCI
BCCI