IPL තරගාවලියේ කණ්ඩායම් කාණ්ඩගත වී ඇති අයුරු නිවේදනය කෙරේ
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් කාණ්ඩගත වී ඇති අයුරු ඉන්දීය ක්‍රිකට් ආයතනය අද(25) නිවේදනය කළා.
ඒ අනුව තරගාවලියට එක්වන කණ්ඩායම් 10 කාණ්ඩ දෙකක් යටතට බෙදා ඇත්තේ එක් කාණ්ඩයකට කණ්ඩායම් 5 බැගින් ඇතුළත් වන අයුරින්.
ඒ ඒ කණ්ඩායම් අයි.පී.එල් ශූරතාවය දිනා ඇති වාර ගණන හා අවසන් මහා තරග සදහා සුදුසුකම් ලැබූ වාර ගණන පිළිබද සැලකිල්ලට ගනිමින් කණ්ඩායම් කාණ්ඩගත කර තිබෙනවා.
එක් කණ්ඩායමක් තම කාණ්ඩයේ සිටින සෙසු කණ්ඩායම් 4 සමග අවස්ථා දෙක බැගින් තරග කිරීමට නියමිතයි.(තරග 8ක්)
එමෙන්ම එක් කණ්ඩායමක් අනෙක් කාණ්ඩයේ කණ්ඩායම් 4 කට එරෙහිව එක් තරගය බැගින් ක්‍රීඩා කිරීමට ද (තරග 4ක්) නියමිතව තිබෙනවා.
අදාළ කණ්ඩායම ප්‍රතිවාදී කාණ්ඩයේ එක් කණ්ඩායමකට එරෙහිව පමණක් තරග දෙකක් ක්‍රීඩා කරන අතර, එම කණ්ඩායම තීරණය වන්නේ එක් එක් කණ්ඩායම කාණ්ඩගත කිරීමේ දී රැදී සිටින තීරුව අනුවයි. (උදාහරණ සහිතව පහතින් විස්තර කර ඇත)
ඒ අනුව ලීග් වටයේ දී එක් කණ්ඩායමක් ක්‍රීඩා කරන සමස්ත තරග සංඛ්‍යාව 14ක් වන අතර, ලීග් වටයේ පැවැත්වෙන සියලු තරග සංඛ්‍යාව 70ක්. 2011 වසරේ දී ද අයි.පී.එල් තරගාවලිය පවත්වනු ලැබුවේ මෙම ක්‍රමවේදයට සමාන ආකාරයකටයි.
කණ්ඩායම් කාණ්ඩගත කර ඇති අයුරු –
උදාහරණයක් ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ගතහොත් ඔවුන් මෙවර තරගාවලියේ දී A කාණ්ඩයේ රැදී සිටින කොල්කටා නයිට් රයිඩර්ස්, රාජස්ථාන් රෝයල්ස්, දිල්ලි කැපිටල්ස් හා ලක්නව් සුපර් ජයන්ට්ස් යන කණ්ඩායම්වලට එරෙහිව දෙවරක් තරග වැදීමට නියමිතයි.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම රැදී සිටින තීරුවට අනුව ප්‍රතිවාදී කාණ්ඩයේ අදාළ තීරුවේ රැදී සිටින්නේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමයි. ඒ අනුව මුම්බායි කණ්ඩායම චෙන්නායි කණ්ඩායමට එරෙහිව ද තරග දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.
ප්‍රතිවාදී කාණ්ඩයේ රැදී සිටින සෙසු කණ්ඩායම් 4 වන සන්රයිසස් හයිදරාබාද්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්, පංජාබ් කිංග්ස් හා ගුජරාට් ටයිටන්ස් යන කණ්ඩායම්වලට එරෙහිව මුම්බායි කණ්ඩායම එක් තරගය බැගින් තරග කරනු ඇති.
මාර්තු 26 වනදා ආරම්භ වන අයි.පී.එල් තරගාවලියේ 15 වන අදියර අවසන් වන්නේ මැයි 29 වනදායි.
අයි.පී.එල් තරගාවලියේ මූලික වටයේ සියලු තරග මුම්බායි නුවර Wankhede, Brabourne හා DY Patil යන ක්‍රීඩාංගන 3 දී හා පූනේ හි Maharashtra Cricket Association ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.
Wankhede ක්‍රීඩාංගනයේ දී තරග 20ක්, Brabourne ක්‍රීඩංගනයේ දී තරග 15ක් හා DY Patil ක්‍රීඩාංගනයේ දී තරග 20ක් මෙන්ම පූනේ හී දී තරග 15ක් පැවැත්වීමට තීරණය කර ඇති බවයි අයි.පී.එල් සංවිධායකයින් නිවේදනය කළේ.
සෑම කණ්ඩායමක්ම Wankhede ක්‍රීඩාංගනයේ දී හා DY Patil ක්‍රීඩාංගනයේ දී තරග 4 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි.
එමෙන්ම සෑම කණ්ඩායමක්ම Brabourne ක්‍රීඩංගනයේ දී හා පූනේ හී දී තරග 3 බැගින් ද ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.
අවසන් වටයේ තරග 4 පැවැත්වෙන ක්‍රීඩාංගන සම්බන්ධයෙන් පසුව තීරණය කරනු ඇති.