Ultimate magazine theme for WordPress.

IPL තරගාවලියට දින තීන්දු වෙයි ; තරග පැවැත්විය හැකි අලුත් ක්‍රමය මෙන්න

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ක්‍රිකට් තරගාවලිය මාර්තු 26 වනදා ආරම්භ කිරීමට අයි.පී.එල් තරගාවලියේ සංවිධායක කමිටුව තීරණය කර තිබෙනවා.

ඊයේ(24) පස්වරුවේ පැවැති අයි.පී.එල් සංවිධායක මණ්ඩලයේ රැස්වීමකදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

තරගාවලියේ අවසන් මහා තරගය මැයි 29 වනදා පැවැත්වීමට නියමිතව ඇති බව ද සදහන්.

මීට පෙර වාර්තා පල වුණේ අයි.පී.එල් තරගාවලිය මාර්තු 27 වනදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ බවටයි.

කෙසේ වෙතත්, තරගාවලියේ රූපවාහිනී විකාශන අයිතිය හිමි Star Sports (Star India) ආයතනය විසින් තරගාවලිය සෙනසුරාදා දිනයකදී ආරම්භ කරන ලෙසට කර තිබූ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මෙවර අයි.පී.එල් තරගාවලිය මාර්තු 26 වනදා ආරම්භ කිරීමට මේ වන විට තීරණය කර තිබෙනවා.

අයි.පී.එල් තරගාවලියේ මූලික වටයේ සියලු තරග මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ දී පමණක් පැවැත්වීමට ද තීරණය කර ඇති බව සදහන්.

ඒ අනුව මුම්බායි නුවර Wankhede, Brabourne හා DY Patil යන ක්‍රීඩාංගන 3 දී හා පූනේ හි Maharashtra Cricket Association ක්‍රීඩාංගනයේ දී තරග පැවැත්වීමට නියමිතයි.

Wankhede ක්‍රීඩාංගනයේ දී තරග 20ක්, Brabourne ක්‍රීඩංගනයේ දී තරග 15ක් හා DY Patil ක්‍රීඩාංගනයේ දී තරග 20ක් මෙන්ම පූනේ හී දී තරග 15ක් පැවැත්වීමට තීරණය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

අවසන් වටයේ තරග 4 පැවැත්වෙන ක්‍රීඩාංගන සම්බන්ධයෙන් පසුව තීරණය කරනු ඇති.

තරගාවලියේ නිල තරග කාලසටහන මෙතෙන් නිවේදනය කර නැහැ.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජයේ අනුමැතිය ලැබෙන්නේනම් තරගාවලිය නැරඹීම සදහා ප්‍රේක්ෂකයින්ට ද ක්‍රීඩාංගන තුළට පැමිණීමට අවසර ලබා දීමටයි අයි.පී.එල් බළධාරීන් තීරණය කර ඇත්තේ.

මෙවර අයි.පී.එල් තරගාවලියට කණ්ඩායම් 10ක් එක්වනවා.

ඒ අනුව බොහෝ විට 2011 වසරේ දී තරග පැවැත් වූ ක්‍රමවේදය යටතේ මෙවර තරගාවලිය පැවැත්වීමට ඉඩ තිබෙනවා.

එසේ වුවහොත් සියලු කණ්ඩායම් කාණ්ඩ දෙකක් යටතේ මූලික වටයේ දී ක්‍රීඩා කිරීමට නියමිත අතර, එක් කණ්ඩායමක් තම කාණ්ඩයේ සිටින සෙසු කණ්ඩායම් 4 සමග අවස්ථා දෙක බැගින් තරග කිරීමට නියමිතයි.(තරග 8ක්)

එමෙන්ම එක් කණ්ඩායමක් අනෙක් කාණ්ඩයේ කණ්ඩායම් 4 කට එරෙහිව එක් තරගය බැගින් ක්‍රීඩා කිරීමට (තරග 4ක්)  නියමිත අතර, ඉතිරි වන අනෙක් කණ්ඩායම සමගින් අවස්ථා දෙකකදී ක්‍රීඩා කරනු ඇති.

ඒ අනුව ලීග් වටයේ දී එක් කණ්ඩායමක් ක්‍රීඩා කරන සමස්ත තරග සංඛ්‍යාව 14ක්.

කාණ්ඩ දෙකක් යටතේ තරග පැවැත්වීමට නියමිතව ඇතත්, එම සියලු කණ්ඩායම් එක් ප්‍රසාද ලකුණු සටහනකටයි ඇතුළත් කෙරෙන්නේ.