IPL තරගාවලියට අලුතින් එක්වන ගුජරාට් හා ලක්නව් කණ්ඩායම් දෙකේ සංචිත
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ(13) අති සාර්ථක ලෙස බැංගලූරුහී දී අවසන් වුණා.
තරගාවලියට එක්වන කණ්ඩායම් 10 විසින් එහිදී මිලදී ගත් සමස්ත ක්‍රීඩකයින් සංඛ්‍යාව 204ක්.
බොහෝ දෙනෙකුගේ අවධානය මෙවර යොමු වුණේ 2022 වසරේ සිට තරගාවලියට අලුතින් එක්වන කණ්ඩායම් දෙක වෙතයි.
ඔවුන්ගේ සංචිත කුමන ආකාරයෙන් සකස් වනු ඇත්දැයි ලොව පුරා බොහෝ ප්‍රේක්ෂකයින් විමසිලිමත්ව බලා සිටියා.
අයි.පී.එල් තරගාවලියට එක්වන කණ්ඩායමක් සදහා උපරිම වශයෙන් ක්‍රීඩකයින් 25 දෙනෙකුගෙන් යුත් සංචිතයක් සකස් කර ගත හැකියි.
ඊට විදෙස් ක්‍රීඩකයින් 8 දෙනෙකු ද උපරිම වශයෙන් මිලදී ගැනීමේ අවස්ථාව පවතිනවා.
චෙන්නායි සුපර් කිංග්ස්, කොල්කටා නයිට් රයිඩර්ස්, මුම්බායි ඉන්දියන්ස් හා පංජාබ් කිංග්ස් යන කණ්ඩායම් ක්‍රීඩක වෙන්දේසිය නිමා වන විට සිය සම්පූර්ණ සංචිතය ක්‍රීඩකයින් 25 දක්වා ඉහළ නංවා ගැනීමට සමත් වුණා.
කෙසේ වෙතත්, ක්‍රීඩක වෙන්දේසිය අවසන් වන විට මෙවර තරගාවලියට එක්වන නව කණ්ඩායමක් වන ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සතුව සිටින්නේ ක්‍රීඩකයින් 21 දෙනෙකු පමණයි.
එම ක්‍රීඩකයින් 21 දෙනා වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 90 ම වියදම් කිරීමට එම කණ්ඩායම පියවර ගෙන ඇති බැවින්, ඔවුන්ට වෙනත් ක්‍රීඩකයින් මිලදී ගැනීම සදහා මුදල් ද ඉතිරි වී තිබුණේ නැහැ.
වෙන්දේසියට පෙර ලක්නව් කණ්ඩායම ක්‍රීඩකයින් තිදෙනෙකු මිලදී ගෙන තිබුණා.
එනම්, කේ.එල් රාහුල්, රවී බිෂ්නෝයි හා ඔස්ට්‍රේලියාවේ මර්කස් ස්ටොයිනිස් යන ක්‍රීඩකයින්.
ක්‍රීඩක වෙන්දේසියේ දී ලක්නව් කණ්ඩායම මිලදී ගෙන ඇත්තේ ක්‍රීඩකයින් 18 දෙනෙකු පමණයි.
ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම වෙන්දේසියේ දී මිලදී ගත් ඉන්දීය ක්‍රීඩකයින් වන්නේ Manish Pandey, Deepak Hooda, Krunal Pandya, Avesh Khan, Ankit Singh Rajpoot, K. Gowtham, Shahbaz Nadeem, Manan Vohra, Mohsin Khan, Mayank Yadav, Ayush Badoni, Karan Sharma.
ඔවුන්ගේ සංචිතයේ සිටින විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව 7ක්. ක්‍රීඩක වෙන්දේසියේ දී ඔවුන් Quinton De Kock, Jason Holder, Mark Wood, Dushmanta Chameera, Evin Lewis, Kyle Mayers යන විදෙස් ක්‍රීඩකයින් මිලදී ගත්තා.
තරගාවලියට අලුතින් එක්වන අනෙක් කණ්ඩායම වන්නේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමයි.
ඔවුන්ගේ සංචිතයේ මේ වන විට ක්‍රීඩකයින් 23 දෙනෙකු රැදී සිටිනවා. ඊට විදෙස් ක්‍රීඩකයින් 8 දෙනෙකු ද ඇතුළත්.
ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අදාළ ක්‍රීඩකයින් 23 දෙනා මිලදී ගැනීමෙන් අනතුරුව, ඔවුන් සතුව ඉන්දීය රුපියල් ලක්ෂ 15ක මුදලක් පමණක් ඉතිරි වුණා.
වෙන්දේසියට පෙර ඔවුන් මිලදී ගත් ක්‍රීඩකයින් තිදෙනා වූයේ හර්ඩික් පාන්ඩ්යා, ෂුබ්මන් ගිල් හා ඇෆ්ඝනිස්තානයේ රෂීඩ් ඛාන්.
ක්‍රීඩක වෙන්දේසියේ දී ඔවුන් Mohammad Shami, Wriddhiman Saha, Abhinav Sadarangani, Rahul Tewatia, R. Sai Kishore, Vijay Shankar, Jayant Yadav, Darshan Nalkande, Yash Dayal, B. Sai Sudharsan, Gurkeerat Singh, Varun Aaron, Pradeep Sangwan යන ඉන්දීය ක්‍රීඩකයින් මිලදී ගත්තා.
වෙන්දේසියේ දී ගුජරාට් කණ්ඩායම මිලදී ගත් විදෙස් ක්‍රීඩකයින් වූයේ David Miller, Jason Roy, Matthew Wade, Lockie Ferguson, Noor Ahmad, Dominic Drakes, Alzarri Joseph.