IPL ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා කෝලි අනාවරණය කරයි
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා සම්බන්ධයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ සුපිරි පිතිකරු හා හිටපු නායක විරාට් කෝලි අදහස් දැක්වීමක් සිදු කර තිබෙනවා.
ඒ, අයි.පී.එල් තරගාවලියේ ඩිජිටල් විකාශන හිමිකරු වන Jiocinema සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදීයි.
එහිදී අයි.පී.එල් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා (GOAT) (greatest of all time) කවුරුන්ද යන්න පිළිබද පැනයක් ඔහුට යොමු කෙරුණා.
ඊට පිළිතුරු දෙමින් කෝලි සදහන් කළේ අයි.පී.එල් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා ලෙස එක් අයෙකු නම් කිරීම අපහසු බවයි.
ඒ අනුව බැංගලෝර් කණ්ඩායම නියෝජනය කළ දකුණු අප්‍රිකා හිටපු සුපිරි පිතිකරු ඒ බී ඩිවිලියස් හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අයි.පී.එල් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින් දෙදෙනා ලෙස තමා නම් කරන බවයි විරාට් කෝලි කියා සිටියේ.
ඩිවිලියස් අයි.පී.එල් තරග 184 ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 5,162 ක්. ඉනිමක සාමාන්‍ය 39.71 ක් ලෙස සටහන් කර ගෙන තිබූ ඔහු අර්ධ ශතක 40 ක් හා ශතක 3 ක් අයි.පී.එල් පිටියේ දී වාර්තා කළා.
ලසිත් මාලිංග අයි.පී.එල් තරග 122 කදී දවා ගෙන තිබූ කඩුලු ගණන 170 ක්.