Ultimate magazine theme for WordPress.

IPL අත්හිටුවා පැය කිහිපයකට පසු PSL තරගාවලිය ගැනත් ප්‍රබල තීරණයක් ගනියි

ඉන්දියාව හා පාකිස්තානය අතර පවතින යුද උණුසුම හේතුවෙන් පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ඉතිරි තරග දින නියමයක් නොමැතිව කල් දැමීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂහ්බාස් ෂරීෆ්ගේ උපදෙස් මත සිය ආයතනය එම ක්‍රියාමාර්ගය ගත් බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

තරගාවලියට එක්වන දෙස් විදෙස් ක්‍රීඩකයින්ගේ යහපත සලකා බලා මෙම තීරණය ගෙන තිබෙනවා.

තරගාවලියේ ඉතිරි තරග 8 පාකිස්තානයේදී නොපවත්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට තීරණය කළ බවට එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කිරීමෙන් පැය 24 ක් ගත් වීමටත් පෙරයි තරගාවලිය අත්හිටුවීමට පියවර ගත් බවට පාකිස්තානය සදහන් කළේ.

ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ද ඉන්දු-පාකිස්තාන යුද උණුසුම හමුවේ සතියක කාලයක් සදහා අත්හිටුවා ඇති පසුබිමකයි.

මේ වන විට පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට එක්ව සිටි විදෙස් ක්‍රීඩකයින්ට යළි සිය රටවල් බලා පිටත්ව යාමට අවශ්‍ය පහසුකම් එරට ක්‍රිකට් ආයතනය විසින් සූදානම් කරමින් පවතිනවා.

බ්‍රහස්පතින්දා (8) දිනයේදී කරච්චි කිංග්ස් හා පෙෂාවර් සල්මි කණ්ඩායම් රාවල්පින්ඩිහීදී තරගයක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ නමුත්, එම තරගය ද කල් දැමීමටයි පියවර ගත්තේ.

හදිසි රැස්වීමක් කැදවමින් තරගාවලියේ සංවිධායකයින් එම තීරණය ගත් අතර, තරගාවලියේ ඉතිරි තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයට රැගෙන යාමට එම රැස්වීමේදී විදෙස් ක්‍රීඩකයින් විසින් ඉහළ කැමැත්තක් පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති Mohsin Naqvi වෙත පල කර තිබුණා.

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ඉතිරි තරග පවත්වන්නේ ද, එසේනම් එම තරග පැවැත්වෙන්නේ කවදාද යන්න සම්බන්ධයෙන් මෙතෙක් එරට ක්‍රිකට් ආයතනය තොරතුරු අනාවරණය කර නැහැ.