IPL අතරතුර පැවැත්වෙන පාකිස්තාන තරගාවලියෙන් ප්‍රබල ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් රැසක් ඉවතට

එළඹෙන පාකිස්තාන තරග සංචාරයේ සීමිත පන්දුවාර තරග සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතය අද(22) ප්‍රකාශයට පත් කෙරුණා.
එම තරගාවලියෙන් ප්‍රධාන ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන් තිදෙනා වන පැට් කමින්ස්, ජොෂ් හේසල්වුඩ් හා මිචෙල් ස්ටක් මෙන්ම ඩේවිඩ් වෝනර් හා ග්ලේන් මැක්ස්වෙල් විවේක ගැන්වීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.
එසේ වුවද එම ක්‍රීඩකයින් අතරින් සිව් දෙනෙකුට (මිචෙල් ස්ටක් මෙවර අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කරන්නේ නැහැ) අයි.පී.එල් තරගාවලියේ පළමු සතියේ තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනවා.(අප්‍රේල් 5 වැනිදා දක්වා)
ඒ, ඔස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම තරග ක්‍රීඩා කරන කාලයේ දී එරට ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගතව සිටින ක්‍රීඩකයින්ට වෙනත් තරගාවලි ක්‍රීඩා කිරීමට අවසර ලබා නොදෙන බැවින්.
කෙසේ වෙතත්, පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරගාවලිය මාර්තු 25 වනදා නිමා වීමෙන් පසුව පාකිස්තානයට එරෙහි සීමිත පන්දුවාර තරග සදහා ක්‍රීඩා නොකරන ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට ඉන්දියාව බලා පැමිණීමට අවස්ථාව හිමි වන අතර, අවශ්‍ය නිරෝධායන ක්‍රියාවලීන්ට මුහුණ දීමෙන් පසුව ඔවුන්ට අප්‍රේල් 6 වැනිදා සිට අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදා වනවා.
පාකිස්තානයට එරෙහි එක්දින තරග 3 සදහා හා 20යි 20 තරගය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතයට නම් කර ඇති මෙවර අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කරන සෙසු ක්‍රීඩකයින්ට තවත් සතියක කාලයක් අයි.පී.එල් තරගාවලිය අහිමි වන්නේ නිරෝධායන නීති හේතුවෙන්.
නමුත් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගතව නොමැති ක්‍රීඩකයින්ට අයි.පී.එල් තරගාවලියට සම්බන්ධ වීම සදහා පාකිස්තාන තරගාවලියෙන් කිසිදු බලපෑමක් එල්ල වන්නේ නැහැ.
මැතිව් වේඩ් පාකිස්තානයට එරෙහි ඔස්ට්‍රේලියානු සීමිත පන්දුවාර සංචිතයට නම් කර නොමැති බැවින් ජොෂ් ඉන්ග්ලිස් කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස පාකිස්තාන තරගාවලියේ දී කටයුතු කරනු ඇති.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙලෙස පාකිස්තාන තරග සංචාරයක නිරත වන්නේ වසර 24කට පසුව වීම විශේෂත්වයක්.
මෙම සංචාරයේ දී දෙරට අතර ටෙස්ට් තරග 3ක්, එක්දින තරග 3ක් හා 20යි 20 තරගයක් පැවැත්වීමට නියමිතයි.
ටෙස්ට් තරගාවලිය මාර්තු 4 වැනිදා ආරම්භ වන අතර, සීමිත පන්දුවාර තරග 4 මාර්තු 29 වනදා සිට අප්‍රේල් 5 වනදා දක්වා රාවල්පින්ඩිහී දී පැවැත්වීමට නියමිතයි.
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග කාලසටහන මෙතෙක් නිවේදනය කර නැතත්, තරගාවලිය මාර්තු 26 වනදා පමණ වන විට ආරම්භ කිරීමටයි මේ වන විට සැලසුම් සකස් කරමින් පවතින්නේ.
Squad:
Aaron Finch (C), Sean Abbott, Ashton Agar, Jason Behrendorff, Alex Carey, Nathan Ellis, Cameron Green, Travis Head, Josh Inglis, Marnus Labuschagne, Mitchell Marsh, Ben McDermott, Kane Richardson, Steve Smith, Marcus Stoinis, Adam Zampa