Ultimate magazine theme for WordPress.

IND v SL : කාළගුණය, ඉතිහාසය හා තරග නරඹන හැටි ඇතුළු පළමු තරගයේ සියලු තොරතුරු මෙන්න

Match Preview

  • කවදද, කොහේද, කීයටද?

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් පළමු 20යි 20 තරගය අද(24) පැවැත්වෙනවා. තරගය පස්වරු 7ට ඉන්දියාවේ ලක්නව් හී දී ආරම්භ වීමට නියමිතයි.

  • ඉතිහාස වාර්තා

දෙරට අතර අවසන් වරට පැවැති 20යි 20 තරගාවලියෙන් ශ්‍රී ලංකාව තරග 2-1ක් ලෙස ජය වාර්තා කළ නමුත්, ඉන්දියාවේ ප්‍රබල ක්‍රීඩකයින් රැසක් එංගලන්ත තරග සංචාරයක නිරතව සිටි බැවින් හා ශ්‍රී ලංකාවට පැමිණි සීමිත පන්දුවාර සංචිතයේ ක්‍රීඩකයින් රැසකට කොවිඩ් 19 ආසාදනය වූ බැවින් ඉන්දියාව අදාළ තරගාවලියට ක්‍රීඩා කළේ අවම ශක්තියක් සහිත කණ්ඩායමක් සමගින්.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අවසන් වරට සම්පූර්ණයෙන් පවත්වා අවසන් කළ 20යි 20 තරග 14න් තරග 11ක ජය ඉන්දියාව හිමි කර ගත්තා.

ඉන්දියාවේ දී දෙරට අතර සම්පූර්ණයෙන් පවත්වා අවසන් කිරීමට හැකි වූ 20යි 20 තරග 10න් ද ශ්‍රී ලංකාව ජය ගෙන ඇත්තේ තරග 2ක් පමණයි.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මෙතෙක් පවත්වා ඇති සමස්ත 20යි 20 තරග 22න් තරග 14ක ජය ඉන්දියාවටත්, තරග 7ක ජය ශ්‍රී ලංකාවටත් හිමිව තිබෙනවා. එක් තරගයක් ප්‍රතිපලයකින් තොරවයි අවසන් වුණේ.

  • කණ්ඩායම් දෙකේ තත්ත්වය

අද ආරම්භ වන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය සදහා කණ්ඩායම් දෙකම එක්වන්නේ ප්‍රබල ක්‍රීඩකයින් රැසක් නොමැතිවයි.

විරාට් කෝලි, රිෂාබ් පාන්ට් මෙම තරගාවලියෙන් විවේක ගැන්වීමට ඉන්දීය තේරීම් කමිටුව පියවර ගත් අතර, දීපක් චහාර් හා සූර්යකුමාර් යාදෙව් ආබාධ හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහි 20යි 20 තරගාවලියට ක්‍රීඩා කරන්නේ නැහැ.

ශ්‍රී ලංකාව ද අද තරගයට එක්වන්නේ ඔවුන්ගේ ප්‍රධානතම ක්‍රීඩකයා වන වනිදු හසරංග නොමැතිවයි.(කොවිඩ් 19 ආසාදනය වූ බැවින්)

නුවන් තුෂාර, රමේෂ් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු හා කුසල් පෙරේරා යන ක්‍රීඩකයින් ද ආබාධවලට ලක්ව ඇති බැවින් ඔවුන්ට මෙම තරග සංචාරය අහිමි වුණා.

එමෙන්ම ඉන්දීය සංචාරය සදහා පිටත්ව ගිය කුසල් මෙන්ඩිස් හා මහීෂ් තීක්ෂණට ද පළමු 20යි 20 තරගය අහිමි වීමේ අවධානමක් මතුව ඇත්තේ ඔවුන් දෙදෙනා ද ආබාධවලට ලක්ව ඇති බැවින්.

මෙම තරගාවලියේ දී ඉන්දියාවට ප්‍රබල තර්ජනයක් එල්ල කිරීමටනම් ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරුවන්ට ධනාත්මක පිතිහරඹයක නිරත වෙමින් වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට සිදු වනු ඇති.

එමෙන්ම මහීෂ් තීක්ෂණ ද අද තරගයට ක්‍රීඩා නොකළහොත් ජෙෆ්රි වැන්ඩර්සේට හා ප්‍රවීන් ජයවික්‍රමට ප්‍රධාන දග පන්දු යවන්නන් දෙදෙනාගේ වගකීම පැවරීමට නියමිතව ඇති බැවින් ඔවුන් දෙදෙනාට ද ඉන්දීය පිතිකරණ බලඇණිය අඩපන කරමින් කණ්ඩායමට ඉහළ දායකත්වයක් ලබා දීමට සිදු වනවා.

“පළමු තරගයට ක්‍රීඩා කිරීමට ඉඩ තියෙන දග පන්දු යවන්නන්ට (දෙදෙනාට) විශාල අත්දැකීම් නැති වුණත්, ජෙෆ්රි වැන්ඩර්සේට හා ප්‍රවීන් ජයවික්‍රමට හොද දක්ෂතාවයක් තියෙනවා.” යනුවෙන් මේ සම්බන්යෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායක දසුන් ශානක මාධ්‍ය හමුවේ සදහන් කළා.

  • ක්‍රීඩා කළ හැකි කණ්ඩායම් දෙක

Sri Lanka : Danushka Gunathilaka, Pathum Nissanka, Charith Asalanka, Janith Liyanage/ Kamil Mishara, Dinesh Chandimal (wk), Dasun Shanaka, Chamika Karunaratne, Dushmantha Chameera, Jeffrey Vandersay, Binura Fernando, Praveen Jayawickrama

India : Ishan Kishan, Ruturaj Gaikwad, Sanju Samson (wk), Rohit Sharma, Shreyas Iyer, Venkatesh Iyer, Ravindra Jadeja, Harshal Patel, Bhuvneshwar Kumar, Yuzvendra Chahal, Jasprit Bumrah

  • කාළගුණය 

වර්ෂාවෙන් අද තරගයට බලපෑමක් එල්ල නොවනු ඇති බවටයි කාළගුණ වාර්තා අනාවැකි පල කර ඇත්තේ.

කෙසේ වෙතත්, සවස් කාලයේ දී උෂ්ණත්වය තරමක් පහළ අගයක් ගනු ඇති බවත්, රාත්‍රී කාලයේ දී පින්නෙන් තරගයේ තීරණයට යම් බලපෑමක් සිදු විය හැකි බවත් සදහන්.

  • තරගය බලන හැටි

මෙම 20යි 20 තරගාවලියේ මෙරට දේශීය රූපවාහිනී විකාශන අයිතිය හිමි කර ගෙන ඇත්තේ ITN නාලිකාවයි.

Dialog TV හා PEO TV පාරිභෝගිකයින්ට Star Sports රූපවාහිනී මාධ්‍ය ජාලය ඔස්සේ ද (Star Sports 1) තරග නැරඹිය හැකියි.

ඊට අමතරව “Dialog ViU App” ඔස්සේ ද තරග නැරඹිය හැකි වනවා.

Leave a comment