Ultimate magazine theme for WordPress.

ICC තරගාවලියන්හි සත්කාරක රටවල් තේරීම මේ මාසයෙන් ඇරඹේ

2024 වසරේ සිට 2031 වසර දක්වා පැවැත්වෙන අයි.සී.සී තරගාවලියන් සම්බන්ධයෙන් තොරතුරු අප මීට පෙර ඔබට වාර්තා කළා.

අගහරුවාදා පැවැති අයි.සී.සී රැස්වීමේ දී ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගෙන තිබූ නමුත්, අදාළ තරගාවලියන්හි සත්කාරක රටවල් මොනවාද යන්න මෙතෙක් තීරණය කර නැහැ.

අයි.සී.සී රැස්වීමෙන් පසුව ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක් වුණේ පිරිමි අංශයේ ප්‍රධාන අයි.සී.සී තරගාවලියන්හි සත්කාරක රටවල් තෝරා ගැනීමේ ක්‍රියාවලිය මෙම මාසයේ දී ආරම්භ කරන බවයි.

සත්කාරක රටවල් තෝරා ගැනීමේ ක්‍රියාවලිය සදහා ද අයි.සී.සීයේ අනුමැතිය මෙම රැස්වීමේ දී හිමිව තිබෙනවා.

ඒ අනුව පිරිමි අංශයේ ප්‍රධාන තරගාවලියන්හි සත්කාරක රටවල් සැප්තැම්බර් මාසයේ දී තීරණය කිරීමට නියමිතයි.

පිරිමි අංශයේ ප්‍රධාන තරගාවලි අතරට එක්දින ලෝක කුසලාන තරගාවලි දෙකක් (2027,2031), 20යි 20 ලෝක කුසලාන 4ක් (2024, 2026, 2028, 2030) සහ ශූරයින්ගේ කුසලාන තරගාවලි දෙකක් (2025, 2029) ඇතුළත්.

ඊට අමතරව අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරග ද 2025, 2027, 2029 සහ 2031 යන වසරවලදී පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම කාන්තා සහ වයස අවුරුදු 19න් පහළ අයි.සී.සී තරගාවලියන්හි සත්කාරක රටවල් තෝරා ගැනීමේ ක්‍රියාවලිය නොවැම්බර් මාසයේ දී ආරම්භ කිරීමට අයි.සී.සීය තීරණය කර තිබෙනවා.

එහිදී අදාළ තරගාවලියන් සදහා සත්කාරකත්වය දැරීමේ අවස්ථාව මෙතෙක් එවැනි අවස්ථාවක් හිමි නොවූ රටවල් සදහා ද හිමි වීමට ඉඩ ඇති බව සදහන්.

ALSO READ : ICC තරගාවලියන්ට අදාළ ආකෘති නිවේදනය කෙරේ; 20යි 20ට 5 බැගින් කාණ්ඩ 4ක්