Ultimate magazine theme for WordPress.

Hit Wicket වී දැවී යන්න කළ යෝජනාව නිසා ජාත්‍යන්තර ක්‍රීඩිකාවකට වසර පහක් ක්‍රිකට් තහනම්

දූෂන චෝදනා හේතුවෙන් බංග්ලාදේශ දග පන්දු යවන ක්‍රීඩිකා Shohely Akhter හට වසර පහක ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා. දූෂන චෝදනා හේතුවෙන් ක්‍රිකට් තහනමකට ලක් වූ පළමු ක්‍රීඩිකාව ලෙසයි ඇය ඉතිහාසගත වන්නේ.

පාවාදීමට උත්සාහ කිරීම, අල්ලසක් ලබා දීමට තැත් කිරීම, පාවා දීමට ලද යෝජනා ගැන ICC දූෂණ විරෝධී ඒකකයට (ACU) සම්පූර්ණ තොරතුරු හෙළි කිරීමට අපොහොසත් වීම මෙන්ම විමර්ශනයට බාධා කිරීම යන චෝදනා ඇයට එරෙහිව එල්ල වුණා.

Shohely Akhter විසින් අයි.සී.සී දූෂන විරෝධී සංග්‍රහය යටතේ තමන්ට එරෙහිව එල්ල වූ චෝදනා පහක් (2.1.1, 2.1.3, 2.1.4, 2.4.4, 2.4.7 යන වගන්ති) පිළිගත් බවත්, ලබා දුන් දඩුවම ඇය පිළිගත් බවත් අයි.සී.සීය සදහන් කළා.

ඒ අනුව පෙබරවාරි 10 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ඇයට එරෙහි වසර පහක තහනම බලපැවැත්වෙනවා.

දකුණු අප්‍රිකාවේ පැවැති 2023 කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළවයි ඇයට එරෙහිව මෙම දූෂන චෝදනා එල්ල වුණේ.

ඇය එම තරගාවලියට අදාළ බංග්ලාදේශ සංචිතයට ඇතුළත්ව නොසිටි අතර, අවසන් වරට ඇය ජාතික කණ්ඩායම නියෝජනය කර ඇත්තේ 2022 වසරේදීයි.

නමුත් එම ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී ඇය විසින් වෙනත් ක්‍රීඩිකාවකට යෝජනා කර ඇත්තේ හිට් විකට් දැවී යාමකින් දැවී යන ලෙසටයි. ඒ වෙනුවෙන් ඇය අදාළ ක්‍රීඩිකාවට බංග්ලාදේශ ටකා මිලියන 2 ක් පිරිනැමීමට සූදානම්ව තිබූ බව සදහන්.

අනතුරුව එම යෝජනාව සම්බන්ධයෙන් යෝජනාව ලද ක්‍රීඩිකාව බලධාරීන්ට පැමිණිලි කිරීමක් සිදු කර තිබූ අතර, ඉන් අනතුරුවයි මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරුණේ.

36 හැවිරිදි Shohely Akhter බංග්ලාදේශය වෙනුවෙන් එක්දින තරග දෙකක් හා විස්සයි 20 තරග 13 ක් ක්‍රීඩා කර තිබෙනවා.