Ultimate magazine theme for WordPress.

EPL ලීගයේ දී සඳුන්ගෙන් අනර්ඝ ඉනිමක්; උපුල් තරංගත් සටන්කමී ඉනිමක

නේපාලයේ පැවැත්වෙන එවරස්ට් ප්‍රිමියර් ලීග් (EPL) විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය යටතේ අද (30) පැවති තරග දෙකක දී පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් ප්‍රදර්ශනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් වුණා.

Kirtipur ක්‍රීඩාංගණයේදි මෙලෙස අද පැවැත්වුණේ තරගාවලියේ 09 වන සහ 10 වන තරගයි.

09 වන තරග‍ය පෙරවරුවේ පැවති අතර එම තරගය කඩුලු 03 කින් ජය ගැනීමට සීක්කුගේ ප්‍රසන්න නියෝජනය කරන Chitwan Tigers කණ්ඩායම සමත්වුණා.

කාසියේ වාසිය දිනා Chitwan Tigers කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ Kathmandu Kings කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි Kathmandu Kings පිතිකරුවන්ට කඩුලු 8ක් දැවි නියමිත පන්දුවාර 20 තුළ රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 141 ක් පමණයි.

Subash Khakurel ලකුණු 35(34) ක් රැස්කළා. Raju Rijal ලකුණු 28(20) යි. Janak Prakash පන්දු 16 කදි ලකුණු 26 ක් ලබාගැනීමට සමත්වුණා.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ Sagar Dhakal ලකුණු 21 කට කඩුලු 04 ක් බිඳ හෙලීමට සමත් වුණා. සීක්කුගේ ප්‍රසන්න පන්දුවාර 03 ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 20 කට එක් කඩුල්ලක් බිඳ හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Chitwan Tigers කණ්ඩායම තමන්ට හිමි වූ ඉලක්කය පහසුවෙන් හඹා ගියේ පන්දුවාර 18.4 කදී කඩුලු 7ක් දැවී ජයග්‍රහණය වාර්තා කරමින්.

කෙසේ වෙතත්. සීක්කුගේ ප්‍රසන්නට ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 05 ක් පමණයි.

තරගාවලියේ 10 වන තරගය අද පස්වරුවේදී පැවැත්වුණේ Bhairahwa Gladiators කණ්ඩායම හා Lalitpur Patriots කණ්ඩායම අතරයි.

මෙම තරගයේ දී කණ්ඩායම් දෙකේම ලකුණු සමවීම හේතුවෙන් තරගය ජය පැරදුමකින් තොරව අවසන් කිරීමටයි සිදු වුණේ.

අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගයේ ජයග්‍රාහකයා තේරීම සදහා සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ අනුව දෙපිළටම ප්‍රසාද ලකුණ බැගින් හිමි වුණා.

මෙම තරගයෙ කාසියේ වාසිය දිනා ගත් Bhairahwa Gladiators කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට Lalitpur Patriots කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන් පන්දුවාර 20 ක් අවසානයේ කඩුලු 07 ක් දැවි ලකුණු 177 ක් රැස්කර ගැනීමට සමත්වුණා.

අනර්ඝ ඉනිමක් දියත් කළ Lalitpur Patriots කණ්ඩායමේ ආරම්භක පිතිකරු සඳුන් වීරක්කොඩි පන්දු 41 කදි ලකුණු 58 ක් වාර්තා කළා.

ඔහුගේ ඉනිම හයේ පහරවල් 05 කින් සහ හතරේ පහරවල් 2 කින් වර්ණවත් වුණා.

ඕෂද ප්‍රනාන්දු ලකුණු 20(19) යි. Sundeep Jora ලකුණු 38(25) ක් රැස්කළා. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ Azmatulla Omarzai පන්දු 22 කදී ලකුණු 42 ක් වාර්තා කළා.

පන්දු යැවීමේදි Abinash Bohara කඩුලු 2 ක් බිඳ හෙලුවා. ධම්මික ප්‍රසාද් පන්දුවාර 4 ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 30 කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත්වුණා.

ලකුණු 178 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි Bhairahwa Gladiators කණ්ඩායමට කඩුලු 5 ක් දැවී නියමිත පන්දුවාර 20 තුළ ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 177 ක් පමණයි.

වටිනා ඉනිමක් දියත් කළ උපුල් තරංග පන්දු 44 කදි නොදැවී ලකුණු 67 ක් වාර්තා කිරීමට සමත් වුණේ හයේ පහරවල් 3 ක් සහ හතරේ පහරවල් 6 ක් සමගින්.

Kushl Malla ලකුණු 35(19) යි. ටමීම් ඉක්බාල්ට ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 14(16) ක් පමණයි.

පන්දු යැවීමේදී Lalitpur Patriots කණ්ඩායම වෙනුවෙන් නේපාල ක්‍රීඩක රෂීඩ් ඛාන් කඩුලු 3 ක් බිඳ හෙලීමට සමත් වුණා. Rijan Dhakal දවා ගත් කඩුලු ගණන 2 ක්.

සටන්කාමී ඉනිමක් දියත් කළ උපුල් තරංග තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

Leave a comment
logo