එංගලන්තයට ලකුණු දෙකක තියුණු ජයක් – Match Report

0 87

දකුණු අප්‍රිකාව සමග පැවැති දෙවන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු දෙකක තියුණු ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඩර්බන්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව එංගලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණූ 204ක් ලබා ගත්තා.

බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු 47ක් රැස් කළ අතර, මොයින් අලී පන්දු 11කින් වේගවත් ලකුණු 39ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ලුන්ගි එන්ගිඩී කඩුලු 3ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 202ක් පමණයි.

නායක ක්වෙන්ටන් ඩී කොක් පන්දු 22කින් ලකුණූ 65ක් රැස් කළේ හයේ පහර 8ක් ද සමගින්.

ඔහු සිය අර්ධ ශතකය පන්දු 17කින් ලබා ගත් අතර, එය දකුණු අප්‍රිකාව වෙනුවෙන් පිතිකරුවෙකු රැස් කළ වේගවත්ම 20යි 20 ජාත්‍යන්තර අර්ධ ශතකයයි.

රසී වැන් ඩර් ඩුසෙන් නොදැවී ලකුණූ 43ක් ලබා ගත් නමුත් එය තරගය ජය ගැනීමට තරම් ප්‍රමාණවත් වූයේ නැහැ.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය මේ වන විට කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජය ගනිමින් සම තත්ත්වයේ පසුවනවා.

You might also like

Leave A Reply

Your email address will not be published.