Ultimate magazine theme for WordPress.

CT25 : ඇෆ්ඝනිස්තානය සමග ක්‍රීඩා කිරීම වර්ජනය කරන්නැයි එංගලන්තයට හා දකුණු අප්‍රිකාවට දේශපාලන බලපෑම්

ලබන මාසයේදී පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී දකුණු අප්‍රිකා කණ්ඩායම ඇෆ්ඝනිස්තානය සමග තරග කිරීමෙන් වැළකී සිටිය යුතු බව දකුණු අප්‍රිකා ක්‍රීඩා අමාත්‍යවරයා පවසනවා.

ඇෆ්ඝනිස්තානයේ තලේබාන් පාලනය විසින් කාන්තාවන්ට වෙනස් කොට සැලකීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම පියවර ගත යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

බ්‍රිතාන්‍යයේ දේශපාලනඥයින් 160 දෙනෙකු විසින් එංගලන්ත කණ්ඩායම ද එළඹෙන ශූරයින්ගේ කුසලාන තරගාවලියේදී ඇෆ්ඝනිස්තානය සමග ක්‍රීඩා නොකළ යුතු බවට එංගලන්ත ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කරමින් ප්‍රකාශයක් සිදු කර ඇති පසුබිමකයි දකුණු අප්‍රිකා ක්‍රීඩා අමාත්‍යවරයා ද මේ වන විට මෙවන් ප්‍රකාශයක් සිදු කර ඇත්තේ.

පෙබරවාරි 19 වැනිදා ආරම්භ වන ශූරයින්ගේ කුසලාන තරගාවලියේදී දකුණු අප්‍රිකා – ඇෆ්ඝනිස්තාන තරග පෙබරවාරි 21 වැනිදාට ද, එංගලන්ත – ඇෆ්ඝනිස්තාන තරගය පෙබරවාරි 26 වැනිදාට ද යෙදී තිබෙනවා.

මෙම රටවල් තුන B කාණ්ඩය යටතේ ශූරයින්ගේ කුසලානයේදී තරග වදින අතර, එම කාණ්ඩයට ඇතුළත් අනෙක් කණ්ඩායම වන්නේ ඔස්ට්‍රේලියාවයි. ඔස්ට්‍රේලියාව ද ඇෆ්ඝනිස්තානය සමග ද්විපාර්ශ්වික තරගාවලි ක්‍රීඩා කිරීමෙන් වැළකී සිටින්නේ තලේබාන් පාලනය විසින් එරට කාන්තාවන්ට ක්‍රීඩාව තහනම් කිරීමට ගත් තීරණයට ප්‍රතිචාර ලෙසයි.

“දකුණු අප්‍රිකාව ඇෆ්ඝනිස්ථානයට එරෙහිව ක්‍රිකට් තරඟ පැවැත්විය යුතුද නැද්ද යන්න පිළිබඳ අවසාන තීරණය ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස මා සතු නොවේ. ඒක මගේ තීරණය වුණා නම්, එහෙනම් ඒක නම් කවදාවත් වෙන්නේ නැහැ.” යනුවෙන් දකුණු අප්‍රිකා ක්‍රීඩා අමාත්‍ය Gayton McKenzie සදහන් කළා.

එමෙන්ම තලේබාන් පාලනය විසින් ඇෆ්ඝනිස්තානයේ කාන්තාවන්ට වෙනස්කොට සැලකීම වර්ණභේදවාදයට සමාන බව ද ක්‍රීඩා අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

වර්ණභේද විරෝධී ක්‍රියාකාරිකයෙකු සහ බ්‍රිතාන්‍ය රජයේ හිටපු අමාත්‍යවරයෙකු වන දකුණු අප්‍රිකාවේ උපත ලද Peter Hain විසින් දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කරමින් ඇෆ්ඝනිස්තානයේ කාන්තා ක්‍රිකට් තහනම් කිරීම පිළිබද සිය කණගාටුව පල කළ පසුබිමක ක්‍රීඩා අමාත්‍යවරයා මෙම අදහස් පල කර තිබීම ද විශේෂත්වයක්.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය ද මේ වන විට නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

“ඇෆ්ඝනිස්ථානයේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට සහාය වන සහ එම රටේ අර්ථවත් වෙනසකට බලපෑම් කරන විසඳුමක් සොයා ගැනීම සඳහා දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය කැපවී සිටින අතර, ඒ වෙනුවෙන් ICC සහ අනෙකුත් සාමාජිකයින් සමඟ ඵලදායී සංවාදයක අඛන්ඩව නිරත වනවා.” යනුවෙන් එම නිවේදනයේ සදහන්.

“ශූරයින්ගේ කුසලානය අයි.සී.සී තරගාවලියක් වන බැවින්, ඇෆ්ඝනිස්ථානය පිළිබඳ ස්ථාවරය ලෝක ආයතනය (ICC) විසින් ජාත්‍යන්තර තරඟාවලි සහභාගීත්ව අවශ්‍යතා සහ රෙගුලාසිවලට අනුකූලව මෙහෙයවිය යුතුය”.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer ද මෙම ස්ථාවරයේ සිටින අතර, ඔහු ඉල්ලා සිටියේ අයි.සී.සීය “තමන්ගේම නීති රීති අනුව කටයුතු කරන්න” අවශ්‍ය බවයි.

තනි රටවල් විසින් ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ග ගැනීම වෙනුවට ICC නායකත්වයෙන් යුත් ප්‍රතිචාරයක් මෙම ගැටලුවට අවශ්‍ය බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනයේ අදහස ද වී ඇත්තේ.

අයි.සී.සී නීති රීතිවලට අනුව පූර්ණ සාමාජික (ටෙස්ට්) රටවල්වලට කාන්තා ජාතික කණ්ඩායමක් ද අනිවාර්යයෙන් තිබිය යුතු අතර, කාන්තා ක්‍රිකට් සංවර්ධනය වෙනුවෙන් ද කැප වී කටයුතු කළ යුතුයි.

කෙසේ වෙතත්, ඇෆ්ඝනිස්තානයට එවැනි කාන්තා කණ්ඩායමක් සතු නොවන නමුත්, ඊට එරෙහිව අයි.සී.සීය කිසිදු සම්බාධක පැනවීමක් සිදු කර නැහැ.

මේ අතර, එරට තුළ කාන්තා ජාතික කණ්ඩායමක් නොමැති වීමට හේතුව ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනයේ වරදක් නිසා නොවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පෙන්වා දෙන අතර, එය එරට රජයේ නීති හේතුවෙන් සිදුව ඇති බව සදහන් කරනවා.

ඇෆ්ඝනිස්ථාන ක්‍රිකට් ආයතනයට එරට රජය විසින් නියම කරන ලද ප්‍රතිපත්ති සඳහා වගකිව නොහැකි බවත්, ඔවුන්ගේ රජය විසින් නියම කරන ලද නීතිවලට අනුකූල වීම හේතුවෙන් ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනයට හෝ ක්‍රීඩකයින්ට දඩුවම් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්, ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් අයි.සී.සී ප්‍රකාශකයෙකු සදහන් කර තිබෙනවා.

2021 වසරේදී ඇෆ්ඝනිස්තානය තුළ තලේබාන් පාලනයක් බිහි වීමත් සමග එරට තුළ කාන්තාවන්ට ක්‍රීඩා කිරීමේ තහනමක් පැනවුණු අතර, අනතුරුව ක්‍රීඩිකාවන් රැසක් සිය ආරක්ෂාව වෙනුවෙන් ඇෆ්ඝනිස්තානය හැර ගියා.