CT 2025 : ඉන්දියාවේ තීරණය අයි.සී.සීයට දැනුම් දෙයි – ශ්‍රී ලංකාව ගැනත් අවධානය
2025 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඉන්දීය කණ්ඩායම පාකිස්තානයේ සංචාරය නොකරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය වෙත දැනුම් දී තිබෙනවා.
ඉන්දීය කණ්ඩායම පාකිස්තානය වෙත යැවීමෙන් වළකින ලෙසට ඉන්දීය රජය විසින් තමන්ට දැනුම් දී ඇති බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අයි.සී.සීය වෙත සදහන් කර ඇත්තේ.
රටවල් 8ක් ක්‍රීඩා කරන ශූරයින්ගේ කුසලාන තරගාවලිය පෙබරවාරි 19 වැනිදා සිට මාර්තු 9 වැනිදා දක්වා පාකිස්තානයේ ක්‍රීඩාංගන තුනකදී පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ කාලසටහන ලබන සතියේ දී නිවේදනය කිරීමට නියමිතව තිබුණා.
කෙසේ වෙතත්, පවතින තත්ත්වය මත කාලසටහන නිවේදනය කිරීම ද ප්‍රමාද වනු ඇති බවත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට හා පාකිස්තාන ක්‍රිකට් ආයතනයට තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් වෙනත් සැලසුමක් ක්‍රියාත්මක කිරීමට සිදු වනු ඇති බවත් සදහන්.
එහිදී තරගාවලිය පාකිස්තානයේ දී හා වෙනත් රටකදී දෙමුහුන් ආකාරයෙන් පැවැත්වීම පිළිබද අවධානය යොමු කිරීමට බොහෝ දුරට ඉඩ ඇතත් පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති Mohsin Naqvi ඊයේ දිනයේ දී සදහන් කළේ තරගාවලිය රටවල් දෙකකදී පැවැත්වීමට සිය ආයතනය සූදානම් නොමැති බවයි.
තරගාවලිය රටවල් දෙකකදී පැවැත්වීමට සිදු වුවහොත්, දෙවැනි රට ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍ය හෝ ශ්‍රී ලංකාව තෝරා ගනු ඇති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.
Mohsin Naqvi ඊයේ වැඩිදුරටත් සදහන් කර සිටියේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සිය තීරණය සම්බන්ධයෙන් පළමුව ලිඛිතව සිය ආයතනයට දැනුම් දිය යුතු බවයි.
ඉන් අනතුරුව සිය රජය සමග සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු කියා සිටියා.
පාකිස්තානය පසුගිය වසරවලදී ඉන්දියාවට යහපත් ප්‍රතිචාර දක්වා සිටි නමුත්, සැමවිටම පාකිස්තානයෙන් එවැනි යහපත් ප්‍රතිචාර බලාපොරොත්තු නොවන ලෙස ද ඔහු ඉන්දියාවට දන්වා සිටියා.
2008 වසරෙන් පසුව මේ දක්වා ඉන්දීය කණ්ඩායම පාකිස්තානයේ තරග සංචාරයක නිරතව නැහැ. කෙසේ වෙතත්, පාකිස්තානය 2023 වසරේ ඉන්දියාවේ දී පැවැති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඇතුළු තරගාවලි කිහිපයක් සදහාම ඉන්දියාවේ සංචාරය කර තිබුණා.