CSN නාලිකාවේ සංඛ්‍යාත යළි ලබා දීමට අධිකරණයේදී එකඟතාවයක්

සී.එස්.එන් රූපවාහිනී නාලිකාව සදහා ලබා දී තිබූ විකාශන බලපත්‍රය 2016 වසරේ දී පැවති ආණ්ඩුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අහෝසි කිරීමට එරෙහිව එම නාලිකාව විසින් ගොනු කල රිට් පෙත්සම අද (26) අභියාචනාධිකරණයේදී සමථයකට පත්ව තිබෙනවා.

ඒ, එම නාලිකාවට ලබා දී තිබූ විකාශන බලපත්‍රය අවලංගු කරමින් 2016 වසරේ දී හිටපු ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත් කළ ලිපිය ඉල්ලා අස් කර ගැනීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය අද අභියාචනාධිකරණයේ දී එකග වීමත් සමගයි.

ඒ අනුව 2016 වසරේ ඔක්තෝම්බර් 23 වනදා වන විට එම නාලිකාවට ලබා දී තිබූ සංඛ්‍යාත ඒ අයුරින්ම නැවත ලබා දීමට කඩිනමින් පියවර ගැනීමට විදුලි සංදේශ නියාමන කොමිසම ද අධිකරණයේදී එකඟතාවය පල කළ බව සදහන්.

කිසිදු සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීමෙන් තොරව සිය විකාශන බලපත්‍රය අහෝසි කිරීම නීතිවිරෝධී බව පවසමින් සී.එස්.එන්.නාලිකාව මෙම රිට් පෙත්සම ගොනු කර තිබුණා.

එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ ජනමාධ්‍ය අමාත්‍යාංශය, එම අමාත්‍යාංශ ලේකම්වරයා , විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පිරිසක්.

විකාශන බලපත්‍රය අහෝසි කිරීමේ තීරණය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර ආයතනය අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබූ අතර, එම රිට් පෙත්සම සලකා බැලූ මුල් අවස්ථාවේදීම අභියාචනාධිකරණය විසින් විකාශන බලපත්‍රය අවලංගු කර ඇති සී.එස්.එන් නාලිකවේ සංඛ්‍යාත සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන පවතින තත්ත්වයෙන්ම පවත්වා ගෙන යන ලෙසට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කළා.

You might also like