Ultimate magazine theme for WordPress.

Copa América : තරගාවලියේ දී වාර්තා වූ මෙසීගේ පළමු ගෝලයත් සමග ආර්ජන්ටිනාව අවසන් තරගයට

ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන 2024 කෝපා ඇමෙරිකා පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ලෝක ශූර ආර්ජන්ටිනා කණ්ඩායම මෙරට වේලාවෙන් අද(10) පෙරවරුවේ සමත් වුණා.

ඒ, පළමු අවසන් පූර්ව තරගයෙන් කැනඩාව පරදා ගෝල 2-0 ක් ලෙස ජය වාර්තා කරමින්.

ප්‍රේක්ෂකයින් 80,000 කට අධික පිරිසක් ඉදිරියේ පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමා වුණේ ගෝල 1-0 ක් ලෙස ආර්ජන්ටිනාව ඉදිරියෙන් පසුවෙමින්. ඒ, Julián Álvarez විසින් 22 වැනි මිනිත්තුවේ දී වාර්තා කළ ගෝලය හේතුවෙන්.

තරගයේ සම්පූර්ණ පාලනය ආර්ජන්ටිනාව යටතට පත් වුණේ ලියනල් මෙසී 51 වැනි මිනිත්තුවේ දී වාර්තා කළ ගෝලයත් සමගයි. එය මෙවර තරගාවලියේ දී ඔහු රැස් කළ පළමු ගෝලය වීම ද විශේෂත්වයක්. (දර්ශන කිහිපයක් පහතින්)

කැනඩාවට ද ගෝල රැස් කිරීම සදහා ආසන්න අවස්ථා කිහිපයක්ම උදා වූ නමුත්, ඒවා සාර්ථක කර ගැනීමට ඔවුන්ට නොහැකි වුණා. කැනඩාව කෝපා ඇමෙරිකා පාපන්දු තරගාවලියක් සදහා ක්‍රීඩා කළ පළමු අවස්ථාව ද මෙයයි.

පසුගියවර ද කෝපා ඇමෙරිකා තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ආර්ජන්ටිනාව සමත් වූ පසුබිමකයි ඔවුන් මෙවර ද තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ.

තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ උරුගුවේ කණ්ඩායම හා කොලොම්බියා කණ්ඩායම අතරයි.