Ultimate magazine theme for WordPress.

දින 100 ක් ඉතිරිව තිබියදී Champions Trophy තරගාවලියට මොකද වෙන්නේ? අලුත්ම තත්ත්වය මෙන්න

2025 වසරේ දී පැවැත්වීමට නියමිත අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ඉන්දීය කණ්ඩායම පාකිස්තානයේ සංචාරය නොකරන බවට නිල වශයෙන් දන්වා ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද එරට රජයෙන් උපදෙස් ලබා ගැනීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය (PCB) පියවර ගෙන තිබෙනවා.

සිය කණ්ඩායම පාකිස්තානයේ සංචාරය නොකරන බව පසුගිය සතියේ දී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) වෙත දන්වා තිබූ අතර, ඒ අනුව පසුව ඒ සම්බන්ධයෙන් අයි.සී.සීය පාකිස්තාන ක්‍රිකට් ආයතනය දැනුවත් කළා.

“2025 අයි.සී.සී ශුරයින්ගේ කුසලානයට ඉන්දීය කණ්ඩායම පාකිස්තානයේ සංචාරය නොකරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දන්වා ඇතැයි අයි.සී.සීය පාකිස්තාන ක්‍රිකට් ආයතනයට යොමු කළ ඊමේල් පණිවිඩයක සදහන් වනවා. පාකිස්තානයේ රජයේ උපදෙස් හා මග පෙන්වීම ලබා ගැනීම සදහා එම ඊමේල් පණිවිඩය පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් රජය වෙත යොමු කර තිබෙනවා.” යනුවෙන් PCB ප්‍රකාශකයෙකු ක්‍රික්බස් වෙබ් අඩවිය වෙත සදහන් කර තිබෙනවා.

“කිසිම හේතුවක් (පාකිස්තානයට නොපැමිණෙන්න) දන්වලා නැහැ. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් අපිට ලිඛිතව කිසිවක් ලැබී නැහැ. මේ තත්ත්වය ගැන පාකිස්තාන ක්‍රිකට් ආයතනය රජය දැනුවත් කර තිබෙනවා.” යනුවෙන් PCB ප්‍රකාශකයෙකු පැවසූ බවයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය ද වාර්තා කර ඇත්තේ.

1996 වසරෙන් පසුව පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිත පළමු අයි.සී.සී තරගාවලිය වන ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සිය රටේදීම පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට එරට ක්‍රිකට් ආයතනය දැඩි ස්ථාවරයක පසුවන බවක් දක්නට ලැබෙනවා.

තරගාවලිය පාකිස්තානයේ දී හා වෙනත් රටකදී දෙමුහුන් ආකාරයෙන් පැවැත්වීම පිළිබද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය හා අයි.සී.සීය අවධානය යොමු කිරීමට බොහෝ දුරට ඉඩ ඇතත් පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති Mohsin Naqvi පසුගිය සතියේ දී පැහැදිලිව ප්‍රකාශ කළේ තරගාවලිය රටවල් දෙකකදී පැවැත්වීමට සිය ආයතනය කිසිසේත් සූදානම් නොමැති බවයි.

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ද මේ ආකාරයෙන් දෙමුහුන් ක්‍රමවේදය යටතේ පාකිස්තානයේ දී හා ශ්‍රී ලංකාවේ දී පැවැති අතර, ඉන්දියාව ක්‍රීඩා කළ සියලු තරග පැවැත්වුණේ ශ්‍රී ලංකාවේදීයි.

ආසියානු කුසලානයට ඉන්දීය කණ්ඩායම පාකිස්තානයේ සංචාරය නොකිරීමට තීරණය කළ පසුබිමක වුවද පාකිස්තානය 2023 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ඉන්දියාවේ සංචාරය කළා.

පාකිස්තානය පසුගිය වසරවලදී ඉන්දියාවට යහපත් ප්‍රතිචාර දක්වා සිටි නමුත්, සැමවිටම පාකිස්තානයෙන් එවැනි යහපත් ප්‍රතිචාර බලාපොරොත්තු නොවන ලෙසයි Mohsin Naqvi පසුගියදා සදහන් කර සිටියේ. ඒ අනුව ඉදිරියේදී ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත අයි.සී.සී තරගාවලියන් සදහා පාකිස්තාන කණ්ඩායම සහභාගී නොකිරීමට ද පාකිස්තාන රජය කටයුතු කිරීමට ඉඩ තිබෙනවා. 2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ද ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතයි.

Mohsin Naqvi පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස පමණක් නොව පාකිස්තාන රජයේ අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා ලෙස ද කටයුතු කරනවා. ඒ අනුව ඔහු දරන මතය එරට රජයේ මතය වීමට ද බොහෝ දුරට ඉඩ පවතිනවා. මෙහිදී විශේෂත්වයක් වන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂාහ් ද, ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමිත් ෂාහ්ගේ පුත්‍රයා වීමයි. ඒ අනුව මෙම ප්‍රශ්නය මේ වන විට දෙරටේ ක්‍රිකට් ආයතන අතර ගැටුමක් මෙන්ම රජයන් දෙක අතර ගැටුමක් බවට ද පත් ඇති බව නොරහසක්.

පාකිස්තාන ක්‍රිකට් ආයතනයට සිය ස්ථාවරයේම රැදී සිටින ලෙසටත්, තරගාවලිය දෙමුහුන් ආකාරයෙන් නොපවත්වා සමස්ත තරගාවලියම පාකිස්තානයේදීම පවත්වන ලෙසටත් පාකිස්තාන රජය එරට ක්‍රිකට් ආයතනයට දැනුම් දීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය රජයේ නියෝග මත ඉන්දීය කණ්ඩායම පාකිස්තානයට පිටත් කර නොහැරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගත් ආකාරයෙන්ම, පාකිස්තාන රජය ද පාකිස්තාන ක්‍රිකට් ආයතනයට තරගාවලිය සිය රටේදීම පවත්වන්නැයි නියෝග කළහොත් එය නොසලකා හැරීමට ද පාකිස්තාන ක්‍රිකට් ආයතනය නොහැකි වනු ඇති.

තරගාවලිය ආරම්භ වීම සදහා තවත් දින 100 ක් පමණක් ඉතිරිව ඇති පසුබිමක උද්ගතව ඇති මෙම ගැටලුව හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ද මේ වන විට දැඩි ගැටලු සහගත තත්ත්වයකට මුහුණ දී සිටිනවා. පෙබරවාරි 19 වැනිදා සිට මාර්තු 9 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත තරගාවලියේ තරග කාලසටහන ද අද නිවේදනය කිරීමට නියමිතව තිබූ නමුත්, එය ද කල් දැමීමටයි අයි.සී.සීයට සිදු වුණේ.