Ultimate magazine theme for WordPress.

BPL තරග පාවාදීම් ගැන සොයන්න ස්වාධීන විමර්ශන ආයතනයක් – ක්‍රීඩකයින් 10 දෙනෙකුට චෝදනා

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් සම්බන්ධයෙන් සිදු කෙරෙන තරග පාවාදීමේ විමර්ශන සඳහා ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී ඒකකයට (ACU) සහාය වීම වෙනුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ස්වාධීන විමර්ශන ආයතනයක් පිහිටුවා තිබෙනවා.

මෙම නිවේදනය නිකුත් කෙරුණේ පසුගිය සති කිහිපය තුළ දූෂණ චෝදනා රැසක් BPL තරගාවලිය සම්බන්ධයෙන් එල්ල වීමත් සමගයි.

“සාධාරණ හා විනිවිද පෙනෙන ක්‍රිකට් පරිසරයක් සහතික කිරීම සඳහා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය කැපවී සිටින අතර, බංග්ලාදේශයේ ක්‍රීඩාවේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීමට දිගටම කටයුතු කරනවා.” යනුවෙන් එරට ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සදහන්.

තරඟාවලිය අතරතුර වූ බව කියන දූෂණ සිදුවීම් (ස්ථානීය පාවාදීම් හා තරග පාවාදීම් – spot-fixing and match-fixing) පිළිබඳ මාධ්‍ය වාර්තා පළ වී තිබූ අතර, එම දූෂන සිද්ධීන්වලට සම්බන්ධ බව කියන ක්‍රීඩකයින් සහ ඊට අදාළ තරඟ පිළිබදව ද එම මාධ්‍ය වාර්තාවල තොරතුරු ඇතුළත්ව තිබුණා. කෙසේ වෙතත්, එම චෝදනා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී ඒකකය විසින් සනාථ කර නැහැ.

පාවාදීම් සිදුවූ බව කියන තරග අටක් සම්බන්ධයෙන් මේ වන විට අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව ක්‍රීඩකයින් 10 දෙනෙකු ACU හි පරීක්ෂාවට ලක් වෙමින් ඇති බවත්, ෆ්‍රැන්චයිස් කණ්ඩායම් හතරක් සමීපව නිරීක්ෂණය කෙරෙමින් පවතින බවත් වාර්තා වනවා.

එම ක්‍රීඩකයින් 10 දෙනාගෙන් හය දෙනෙකුම බංග්ලාදේශ ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති ක්‍රීඩකයින්. ක්‍රීඩකයින් දෙදෙනෙකු මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති දේශීය ක්‍රීඩකයින් වන අතර, විමර්ශනයට ලක්ව ඇති අනෙක් ක්‍රීඩකයින් දෙදෙනා විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙක්.

චෝදනා එල්ල වී ඇති ෆ්‍රැන්චයින් කණ්ඩායම් වන්නේ Durbar Rajshahi, Dhaka Capitals, Sylhet Strikers හා Chittagong Kings යන කණ්ඩායම්.

මාධ්‍ය වාර්තාවලට අනුව පාවාදීම් සිදුව ඇති බවට සැක කෙරෙන තරග –

  • Fortune Barishal vs. Rajshahi (January 6)
  • Rangpur Riders vs. Dhaka (January 7)
  • Dhaka vs. Sylhet (January 10)
  • Rajshahi vs. Dhaka (January 12)
  • Chittagong vs. Sylhet (January 13)
  • Barishal vs. Khulna Tigers (January 22)

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළ දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව එරට ක්‍රිකට් ආයතනය ප්‍රකාශයක් සිදු කළේ 2013 වසරෙන් පසුව පළමු වරටයි.

BPL තරගාවලියේදී ක්‍රීඩකයින්ට නිසි වේලාවට ගෙවීම් සිදු කර නොමැති බවට දැඩි චෝදනාවක් එල්ල වන පසුබිමකයි මෙම දූෂන චෝදනා ද මේ වන විට තරගාවලියට එල්ල වී ඇත්තේ.