Ultimate magazine theme for WordPress.

56 ට කඩුලු 6 ක් දැවී යාමෙන් පසු තිසරගේ සුපිරි ප්‍රහාරය Western පිලට ජය ගෙනෙයි

Western Warriors කණ්ඩායමේ නායක ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ප්‍රවේගකාමී ඉනිමක් දියත් කරමින් සිය කණ්ඩායමට කඩුලු 04 ක තියුණු ජයග්‍රහණයක් රැගෙන ඒමට අද(4) සමත් වුණා.

ඒ, දොඹගොඩ යුදහමුදා ක්‍රීඩා පිටියේ පැවති Army Commander’s League තරගාවලියේ 09 වන තරගයේ දී අසේල ගුණරත්න නායකත්වය දරන Eastern Warriors කණ්ඩායමට එරෙහිවයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් Eastern Warriors කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් බිඳ වැටී රැස්කළ ලකුණු සංඛ්‍යාව 152 ක්.

ආරම්භක පිතිකරු සඳුන් වීරක්කොඩී පන්දු 22 කදී 30 ක් රැස්කළා.

හර්ශජිත් විරේන්ද්‍ර ලකුණු 41(34) යි. පැතුම් ඩිල්ශාන් ලකුණු 34(33) ක් ද හිමාෂ ලියනගේ ලකුණු 20 ක් ද ලබාගත්තා.

නායක අසේල ගුණරත්නට රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 7 ක් පමණයි.

අනර්ඝ පන්දු යැවීමක නිරත වූ යශෝද මෙන්ඩිස් ලකුණු 24 කට බිඳ හෙලූ කඩුලු සංඛ්‍යාව 3 ක්. නුවන් ප්‍රදීප් සහ මල්ක මදුෂංක අතරේ කඩුලු 2 බැගින් බෙදීගියා.

ලකුණු 153 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි Western Warriors කණ්ඩායමේ මුල් කඩුලු 6 ලකුණු 56 කදී බිඳ හෙලීමට Eastern Warriors පන්දුයවන්නන් සමත්වුණේ ජයග්‍රහණයේ බලාපොරොත්තු සිය කණ්ඩායම වෙත නතු කරමින්.

නමුත් ඉන්පසුව ක්‍රියාත්මක වු නායක තිසර පෙරේරා වේගවත් ඉනිමක් දියත් කළේ Eastern Warriors කණ්ඩායමේ ජයග්‍රහනය පිළිබද බලාපොරොත්තු සුනු විසුනු කරමින්.

පන්දු 39 කදී වේගවත් ලකුණු 75 ක් නොදැවී රැස්කිරීමට තිසර පෙරේරා සමත්වුණා. ඔහුගේ ඉනිමට හයේ පහරවල් 3 ක් සහ හතරේ පහරවල් 8 ක් ඇතුළත්.

තිසරගේ ඉනිමට අගනා සහයෝගයක් ලබා දුන් යශෝද මෙන්ඩිස් ලකුණු 26 ක් නොදැවී රැස්කිරීමට සමත්වුණා. ඩිල්ශාන් මුනවීර ලකුණු 21(16) යි.

තරිඳු කෞශාල් කඩුලු 2 ක් බිඳ හෙලු අතර ශශික ද සිල්වා, ආර් පුංචිහේවා සහ සඳුන් වීරක්කොඩි අතරේ එක් කඩුල්ල බැගින් බෙදීගියා.

තරගයේ වීරයා ලෙස සම්මාන හිමි කර ගත්තේ තිසර පෙරේරා.

Leave a comment