Ultimate magazine theme for WordPress.

42 කට දැවී යමින් ශ්‍රී ලංකාව ටෙස්ට් ඉතිහාසය වෙනස් කළේ මෙහෙමයි

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉනිමකදී වාර්තා කළ අවම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද(28) සිදු වුණා.

ඒ, දකුණු අප්‍රිකාව සමග ඩර්බන්හීදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේදී ශ්‍රී ලංකා පළමු ඉනිම පන්දුවාර 13.5 ක් තුළදී ලකුණු 42 කට සීමා වීමත් සමගයි.

මීට පෙර ශ්‍රී ලංකාව ටෙස්ට් ඉනිමක වාර්තා කළ අවම ලකුණු සංඛ්‍යාව රැස් කර තිබුණේ 1994 වසරේදීයි. එම වසරේදී පාකිස්තානයට එරෙහිව මහනුවර පැවැති ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකාව ලකුණු 71 කට දැවී ගොස් තිබුණා.

ටෙස්ට් ඉතිහාසයේ වාර්තා වූ 12 වැනි අවම ලකුණු සංඛ්‍යාව ලෙස ද ශ්‍රී ලංකාව අද රැස් කළ ලකුණු 42 ඉතිහාසගත වුණා.

Lowest innings totals in Tests –

  1. New Zealand 26 vs ENG – 1955
  2. South Africa 30 vs ENG – 1896
  3. South Africa 30 vs ENG – 1924
  4. South Africa 35 vs ENG – 1899
  5. South Africa 36 vs AUS – 1932
  6. Australia 36 vs ENG – 1902
  7. India 36 vs AUS – 2020
  8. Ireland 38 vs ENG – 2019
  9. New Zealand 42 vs AUS – 1946
  10. Australia 42 vs ENG – 1888
  11. India 42 vs ENG – 1974
  12. Sri Lanka 42 vs SA – 2024

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලකුණු 191 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුණු කිරීමට මර්කෝ ජන්සෙන් ප්‍රමුඛ දකුණු අප්‍රිකා වේග පන්දු යවන්නන් සමත් වුණා.

ශ්‍රී ලංකා ඉනිමේ දී පිතිකරුවන් 5 දෙනෙකු ලකුණු නොලබා දැවී ගියා. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ලකුණු 13 ක් ලබා ගත් කමිදු මෙන්ඩිස්.

පැතුම් නිස්සංක ලකුණු 3කටත්, දිමුත් කරුණාරත්න ලකුණු 2කටත්, දිනේෂ් චන්දිමාල් ලකුණු ලබා ගැනීමට පෙරත් දැවී ගියා. ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු රැස් කළේ එක් ලකුණක් පමණයි. නායක ධනංජය ද සිල්වා ලකුණු 7කට දැවී ගිය අතර, කුසල් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, විශ්ව ප්‍රනාන්දු හා අසිත ප්‍රනාන්දු ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගියා. ලහිරු කුමාර නොදැවී ලකුණු 10යි.

පන්දු යැවීමේ දී මාර්කෝ ජන්සෙන් පන්දුවාර 6.5 ක් යොමු කරමින් කඩුලු 7ක් දවා ගත්තේ ලකුණු 13 ක් පමණක් ලබා දෙමින්.