38 වන වසරටත් අලුත් වන ඉන්දු – ශ්‍රී ලංකා වාර්තාව; වසර 9ක වාර්තාවත් ඉන්දියාව රැක ගනීවිද?
සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ හෝරා කිහිපයක් පමණයි.
එක්දින හා 20යි 20 තරගාවලි සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් පසුගිය 28 වනදා දිවයිනට පැමිණි ඉන්දීය කණ්ඩායම සිය නිරෝධායන කාලසීමාව අවසන් කර පුහුණු කටයුතු ආරම්භ කළ අතර, පසුව ඔවුන් එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී පුහුණු තරග කිහිපයකට ද එක් වුණා.
ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට එක්දින තරග 3ක් සහ 20යි 20 තරග 3ක් ඇතුළත්.
දෙරට අතර මෙලෙස ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වෙන්නේ අඛණ්ඩව 38 වන වසරට වීම විශේෂත්වයක්.
ඉන්දු – ශ්‍රී ලංකා ජාත්‍යන්තර තරගයක් නොපැවැත්වූ වසරක් අවසන් වරට වාර්තා වන්නේ 1983 වසරේ දී යි.
එතැන් පටන් මේ දක්වා සෑම වසරකම කුමන හෝ තරග රටාවක අවම වශයෙන් එක් ජාත්‍යන්තර තරගයක් හෝ දෙරට අතර පවත්වා තිබීම කැපී පෙනෙනවා.
දෙරට අතර මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 159ක් පවත්වා තිබෙනවා.
එය වාර්තා අතරට එක්ව ඇත්තේ යම් රටවල් දෙකක් අතර පවත්වා ඇති වැඩිම එක්දින ජාත්‍යන්තර තරග සංඛ්‍යාව ලෙසයි.
එම තරග අතරින් ඉන්දියාව තරග 91ක් ද ශ්‍රී ලංකාව තරග 56ක් ද ජය ගෙන ඇති අතර, එක් තරගයක් ලකුණු සම වීමකින් අවසන් වුණා. තරග 11ක් ප්‍රතිපලයකින් තොරව අතහැර දැමුණා.
දෙරට අතර හෙට(18) ආරම්භ වන එක්දින තරගාවලියෙන් ඉන්දියාව තරග 3-0ක්, 2-0ක් හෝ 2-1ක් ලෙස ජය ගතහොත් ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින ඉතිහාසයේ දී තරග 93ක් ජය ගනිමින් නව වාර්තාවක් පිහිටුවීමට ද ඉන්දියාව සමත් වනවා.
ඒ, කුමන හෝ රටකට එරෙහිව යම් කණ්ඩායමක් වාර්තා කර ඇති වැඩිම එක්දින ජාත්‍යන්තර තරග ජයග්රහන ප්‍රමාණයේ වාර්තාව තමන් සතු කර ගනිමින්.
ඉන්දියාව අවසන් වරට ශ්‍රී ලංකාවේ දී එක්දින තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2017 වසරේ දීයි.
එමෙන්ම ඔවුන් 2012 වසරේ ජූලි 24 වනදායි පසුව මෙරට දී මෙතෙක් කිසිදු එක්දින තරගයක් පරාජට පත්ව නොතිබීම ද විශේෂත්වයක්.