2nd Test : පාකිස්තානයෙන් වෙනස්කම් කිහිපයක් ; ඔස්ට්‍රේලියානු කණ්ඩායමත් නම් කෙරේ

ඔස්ට්‍රේලියාව සමග හෙට(26) මෙල්බර්න් හී දී ආරම්භ වීමට නියමිත බොක්සිං දින ටෙස්ට් තරගය සදහා වන ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් යුත් පාකිස්තාන සංචිතයක් නම් කර තිබෙනවා.
ඊට අනුව පර්ත් හී දී පැවැති පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ කඩුලු රකින ක්‍රීඩක සර්ෆරාස් අහ්මඩ් වෙනුවට මොහමඩ් රිස්වාන් කණ්ඩායමට කැදවීමටයි තීරණය කර ඇත්තේ.
පර්ත් ටෙස්ට් තරගයේ ඉනිම් දෙකේ දී ම සර්ෆරාස් රැස් කළේ ලකුණු 7ක් පමණයි. මෙම ආදේශ කිරීම දෙවැනි තරගය වෙනුවෙන් අවම වශයෙන් සිදු කෙරෙන වෙනස්කම් තුනෙන් එකක් වනු ඇති. තරගයට ක්‍රීඩා කරන අවසන් ක්‍රීඩකයින් 11 දෙනා හෙට දිනයේ දී නම් කිරීමට නියමිතයි.
පළමු ටෙස්ට් තරගයේ දී ටෙස්ට් වරම් දිනූ කුරාම් ශහ්සාඩ්ට ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන්ම ඉවත් වීමට සිදු වූ අතර, පළමු තරගයේ දී දක්ෂතා අතරට පිවිසීමට නොහැකි වූ ෆහීම් අශ්රෆ් ද කණ්ඩායමෙන් ඉවත් කර තිබෙනවා.
බොහෝ විට හෙට තරගය සදහා ද වේග පන්දු යවන්නන්ගෙන් පමණක් සමන්විත පන්දු යැවීමේ බලඇණියක් පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඉඩ ඇති අතර, එසේ වුවහොත් 12 දෙනෙකුගෙන් යුත් සංචිතයට නම් කර ඇති දග පන්දු යවන ක්‍රීඩක සජිඩ් ඛාන්ට කණ්ඩායමේ ස්ථානය අහිමි වනු ඇති.
මේ අතර, දෙවැනි ටෙස්ට් තරගය සදහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමට කිසිදු වෙනස්කමක් සිදු නොකිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.
දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය හෙට මෙරට වේලාවෙන් අලුයම පහට මෙල්බර්න් හී දී ආරම්භ වීමට නියමිතයි. පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 360 ක ජයක් වාර්තා කළ ඔස්ට්‍රේලියාව තරග 1-0 ක් ලෙස මේ වන විට තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.
දෙවැනි ටෙස්ට් තරගයට පෙර පාකිස්තාන කණ්ඩායම Victoria XI කණ්ඩායමට එරෙහිව පසුගිය 22 හා 23 වැනිදා දෙදින පුහුණු තරගයකට ද ක්‍රීඩා කළා.
Australia XI: David Warner, Usman Khawaja, Marnus Labuschagne, Steve Smith, Travis Head, Mitch Marsh, Alex Carey (wk), Mitchell Starc, Pat Cummins (c), Nathan Lyon, Josh Hazlewood
Pakistan XII: Imam-Ul-Haq, Abdullah Shafique, Shan Masood (c), Babar Azam, Saud Shakeel, Mohammad Rizwan (wk), Salman Ali Agha, Shaheen Afridi, Hasan Ali, Mir Hamza, Aamir Jamal, Sajid Khan (final team to be confirmed at the coin toss)