Ultimate magazine theme for WordPress.

2024 T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබන්න රටවල් 66ක් ජූනි මාසයේ සිට තරග බිමට

2024 වසරේ පැවැත්වෙන අයි.සී.සී පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රියාවලිය එළඹෙන ජූනි මාසයේ සිට ආරම්භ වන බව ජගත් ක්‍රිකට් කවුන්සල අද(31) නිවේදනය කළා.

ඒ, ජූනි 28 වැනිදා ආරම්භ වන යුරෝපා කලාප C සුදුසුකම් ලැබීමේ තරගාවලියත් සමගින්.

ජූලි 4 වැනිදා දක්වා බෙල්ජියමේ දී පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා රටවල් 8ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ෆින්ලන්තයේ දී පැවැත්වෙන යුරෝපා කලාප A සුදුසුකම් ලැබීමේ තරගාවලියට හා යුරෝපා කලාප B සුදුසුකම් ලැබීමේ තරගාවලියට රටවල් 10 බැගින් ක්‍රීඩා කරන බව ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළා.

නැගෙනහිර ආසියා පැසිෆික් කලාපීය A හා B සුදුසුකම් ලැබීමේ තරගාවලි සදහා පිළිවෙලින් රටවල් 4ක් හා 3ක් එක් වීමට නියමිතව තිබෙනවා.

අප්‍රිකා A හා B සුදුසුකම් ලැබීමේ තරගාවලි සදහා රටවල් 7 බැගින් තරග වැදීමට නියමිතයි.

මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියන්ට අදාළ තරග කාලසටහන ද ජගත් ක්‍රිකට් කවුන්සලය අද නිවේදනය කළා.

ඊට අමතරව අමෙරිකානු කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලි දෙකක් ද (රටවල් 8ක්) ආසියානු කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලි 2ක් ද (රටවල් 9ක්) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලි සදහා ක්‍රීඩා කරන සමස්ත රටවල් ගණන 66ක්.

හන්ගේරියාව, රුමේනියාව හා සර්බියාව පළමු වරට සුදුසුකම් ලැබීමේ තරගාවලි සදහා ක්‍රීඩා කිරීමට නියමිතව තිබීම ද විශේෂත්වයක්.

2024 වසරේ පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන රටවල් 20න් රටවල් 12ක් සුදුසුකම් ලැබිමේ තරගාවලියකින් තොරව සෘජුවම ලෝක කුසලානය සදහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

මෙම වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියෙන්ම පසුවන රටවල් අට 2024 වසරේ පැවැත්වෙන 20යි 20 ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබා ගන්නවා.

තරගාවලියේ සත්කාරකත්වය හිමි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා අමෙරිකා එක්සත් ජනපදය මේ වන විටත් 2024 ලෝක කුසලානයට සුදුසුකම් ලබා අවසන්.

ඊට අමතරව 2022 නොවැම්බර් 14 වැනිදා වන විට අයි.සී.සී 20යි 20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන්ම පසුවන රටවල් කිහිපයකට ද තරගාවලියට සෘජුව සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමි වනවා.

කොදෙව්වන් මෙවර 20යි 20 ලෝක කුසලානයේ දී පළමු අට දෙනා අතර රැදී සිටියහොත් 20යි 20 ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව තවත් කණ්ඩායම් තුනකට 2024 ලෝක කුසලානය සදහා සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමි වනවා.

කෙසේ වෙතත්, කොදෙව්වන්ට මෙම වසරේ පැවැත්වෙන ලෝක කුසලානයේ දී පළමු අට දෙනා අතරට තේරීමට නොහැකි වුවහොත් ශ්‍රේණිගත කිරීම් අනුව 2024 තරගාවලිය වෙනුවෙන් සුදුසුකම් ලබා ගන්නේ තවත් රටවල් දෙකක් පමණයි.

කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලි තුළින් සෙසු රටවල් අට 2024 ලෝක කුසලානය සදහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

එහිදී අප්‍රිකානු, ආසියානු හා යුරෝපා කලාපවලින් රටවල් දෙක බැගින් ද, අමෙරිකාවෙන් හා නැගෙනහිර ආසියා පැසිෆික් කලාපයෙන් එක් රට බැගින් ද ලෝක කුසලානය සදහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතව තිබෙනවා.

Leave a comment