225% ක ඉහළ යාමක් සමග 2024 කාන්තා T20 ලෝක කුසලානයට වෙන් කළ ත්‍යාග මුදල් නිවේදනය කෙරේ
2024 පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් මිලියන 2.34 ක (රුපියල් කෝටි 71 ක් පමණ) මූල්‍ය ත්‍යාගයක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.
එය පසුගිය තරගාවලියට සාපේක්ෂව 134% ක ඉහළ යාමක්. පසුගිය තරගාවලියේ දී ශූරතාවය ජය ගත් ඔස්ට්‍රේලියාවට හිමි වූයේ ඩොලර් මිලියනයක (රුපියල් කෝටි 30.4 ක් පමණ) මූල්‍ය ත්‍යාගයක් පමණයි.
2023 කාන්තා විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය පුරා පිරිනැමුණු සමස්ත මූල්‍ය ත්‍යාගවල එකතුව ඩොලර් මිලියන 2.45 ක් (රුපියල් කෝටි 74 ක් පමණ). මෙවර එය ද ඩොලර් මිලියන 7.95 ක් (රුපියල් කෝටි 241 ක් පමණ) දක්වා ඉහළ නංවා ඇති අතර, එය 225% ක ඉහළ නැංවීමක්.
2023 වසරේ ජූනි මාසයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් පිරිමි හා කාන්තා අයි.සී.සී තරගාවලියන්හී දී ලබා දෙන මූල්‍ය ත්‍යාග සම තත්ත්වයකට රැගෙන ඒමට තීරණය කළා. ඉන් අනතුරුව පැවැත්වෙන පළමු කාන්තා අයි.සී.සී තරගාවලිය වන්නේ මෙම තරගාවලියයි.
2024 පිරිමි පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගත් ඉන්දියාවට ඩොලර් මිලියන 2.45 ක මූල්‍ය ත්‍යාගයක් හිමි වූ අතර, කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශූරයින්ට ලබා දෙන මූල්‍ය ත්‍යාගය ඊට වඩා තරමක් අඩු වී ඇත්තේ කාන්තා ලෝක කුසලානයට අයත් තරග ප්‍රමාණය අවම වී තිබීම හේතුවෙනුයි.
තරගාවලියේ අනුශූරයින්ට ඩොලර් මිලියන 1.17 ක (රුපියල් කෝටි 35 ක් පමණ) මූල්‍ය ත්‍යාගයක් හිමි වීමට නියමිතව ඇති අතර, එය පසුගිය අදියරට සාපේක්ෂව 134% ක ඉහළ යාමක්.
අවසන් පූර්ව තරගවලින් පරාජයට පත් වන කණ්ඩායම් දෙකට ඩොලර් 675,000 ක (රුපියල් කෝටි 20 ක් පමණ) මුදලක් බැගින් හිමි වනවා. පසුගිය තරගාවලියේ දී ඔවුන්ට ලබා දුන් ත්‍යාග මුදල ඩොලර් 210,000 (රුපියල් ලක්ෂ 637) ක්.
මූලික වටයේ දී ජයග්‍රහනය කරන සෑම තරගයක් සදහාම ඩොලර් 31,154 ක (රුපියල් ලක්ෂ 94 ක් පමණ) මුදලක් හිමි වීමට නියමිතයි. එය පසුගිය තරගාවලියට (ඩොලර් 17,500) සාපේක්ෂව 78% ක ඉහළ යාමක්.
මූලික වටයෙන්ම ඉවතට විසිවන කණ්ඩායම් සදහා ද ඩොලර් 112,500 ක (රුපියල් ලක්ෂ 341 ක් පමණ) මුදලක් බැගින් හිමිවනවා.
2024 පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 3 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිතයි.