2023 ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් කාලසටහනට තවත් තරගාවලියක් එක්වෙයි

ශ්‍රී ලංකාව සමග එක්දින ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කිරීම සදහා ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් කණ්ඩායම එළඹෙන ජූනි මාසයේ දී මෙරට තරග සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.
තරග සංචාරයට එක්දින තරග 3ක් ඇතුළත් නමුත්, තරග පැවැත්වෙන ක්‍රීඩාංගන සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.
කෙසේ වෙතත්, තරගාවලියේ දේශීය රූපවාහිනී විකාශන අයිතිය පිරිනැමීම සදහා ඒ වෙනුවෙන් කැමැත්තක් දක්වන මාධ්‍ය ආයතනවලට ඊට ඉදිරිපත් වන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විටත් නිවේදනය කර තිබෙනවා. ජූනි දෙවැනිදා, 4 වැනිදා හා 7 වැනිදා එක්දින තරග 3 පැවැත්වීමට නියමිතයි.
ඇෆ්ඝනිස්තාන කණ්ඩායම පසුගිය නොවැම්බර් මාසයේ දී ද මෙරට තරග සංචාරයක නිරත වූ අතර, එහිදී පැවැති එක්දින තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් වුණා.
නොවැම්බර් මාසයේ පැවැති එම එක්දින තරගාවලිය මෙම වසර මුල පැවැත්වීමට පළමුව නියමිතව තිබූ නමුත්, පසුව කණ්ඩායම් දෙකේ ජාත්‍යන්තර තරග කාලසටහන් සලකා බලා තරගාවලිය නොවැම්බර් මාසයේ දී පැවැත්වීමටයි පියවර ගැනුණේ.
එවැනි පසුබිමක යළිත් වරක් ඇෆ්ඝනිස්තානය සමග මෙම වසරේ දී තවත් එක්දින තරගාවලියකට සත්කාරකත්වය දැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධානය යොමු කිරීම විශේෂත්වයක්.
ජූනි 18 වැනිදා සිට ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ හී දී 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බැවින් එම තරගාවලියට පෙරහුරුවක් ලෙස මෙම තරගාවලිය යොදා ගනු ඇති.