Ultimate magazine theme for WordPress.

2023 ලෝක කුසලානයේ කාලසටහන ප්‍රමාදයට හේතුව මෙන්න

2023 අයි.සී.සී එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 5 වැනිදා සිට නොවැම්බර් 19 වැනිදා දක්වා පැවැත්වීමට ඉඩ ඇති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

රටවල් 10 ක් ක්‍රීඩා කරන මෙම ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීම සදහා සත්කාරක ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මේ වන විට ක්‍රීඩාංගන 12 ක් තෝරා ගෙන ඇති බවත්, අවසන් මහා තරගය අහ්මදාබාද් හී දී පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් සදහන්.

ඊට අමතරව බැංගලූරු, චෙන්නායි, දිල්ලි, ධරම්සාලා, ගුවහාටි, හයිදරාබාද්, කොල්කටා, ලක්නව්, ඉන්දෝර්, රාජ්කොට් හා මුම්බායි හී දී තරග පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. දින 46 ක් පැවැත්වෙන තරගාවලිය සදහා තරග 48 ක් ඇතුළත්.

සාමාන්‍යයෙන් ලෝක කුසලාන තරගාවලියකට අදාළ තරග කාලසටහන ජගත් ක්‍රිකට් කවුන්සලය(අයි.සී.සී) විසින් වසරකට පමණ පෙර ප්‍රකාශයට පත් කරනවා. 2023 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට තවත් මාස 6ක පමණ කාලයක් ඉතිරිව ඇතත්, තරගාවලියේ තරග කාලසටහන මෙතෙක් නිවේදනය කර නැහැ.

තරඟාවලිය සඳහා බදු නිදහස් කර ගැනීම හා පාකිස්තාන කණ්ඩායමට ඉන්දියාවට පැමිණීමට වීසා ලබා ගැනීම යන කරුණු සදහා යහපත් ප්‍රතිචාරයක් ඉන්දීය රජයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ලබා ගත යුතු බැවින් මෙම ප්‍රමාදය සිදුව ඇති බව සදහන්.

කෙසේ වෙතත්, පාකිස්තාන කණ්ඩායමට වීසා ලබා ගැනීමට බාධාවක් එල්ල නොවන බවට ඩුබායි හී දී පසුගිය සති අන්තයේ දී පැවැති අයි.සී.සී රැස්වීමේ දී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ජගත් ක්‍රිකට් කවුන්සලයට සහතික වී ඇති බවයි වාර්තා වන්නේ.

බදු නිදහස් කර ගැනීමේ ගැටලුව සම්බන්ධයෙන් ඉන්දීය රජයේ ස්ථාවරය කඩිනමින් අයි.සී.සීය වෙත දැනුම් දීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගනු ඇති.

අයි.සී.සී තරගාවලි තුනක් සදහා සත්කාරකත්වය ලබා ගැනීම වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය හා අයි.සී.සීය අතර 2014 වසරේ දී අත්සන් තැබූ ගිවිසුමට අනුව අයි.සී.සීයට බදු සහන සුරක්ෂිත කිරීම සදහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය බැදී සිටිනවා.