Ultimate magazine theme for WordPress.

මාලිංගගෙන් ධනංජය ගැන ප්‍රබල අනාවැකියක්

නවක තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් යනු 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වන හොදම ආයෝජනය බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක ලසිත් මාලිංග පවසනවා.

සිය යූ ටියුබ් නාලිකාවට වීඩියෝවක් නිකුත් කරමින් ඔහු සදහන් කළේ ධනංජය ලක්ෂාන් 2023 ලෝක කුසලානය වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට අත්‍යවශ්‍යම ක්‍රීඩකයෙකු වනු ඇති බවයි.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත තරග සංචාරයක නිරතව සිටින අතර, ඊට එක්ව සිටින ශ්‍රී ලංකා සංචිතයට ද ධනංජය ඇතුළත්.

ඔහු ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් පසුගිය 16 වනදා සහ 18 වනදා පැවැති පුහුණු තරග සදහා එක්ව සිටියේ නැහැ.

කෙසේ වෙතත්, මේ වන විට ඔහු සම්පූර්ණ සුවය ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට ශ්‍රී ලංකාවේ සිටින හොදින්ම පන්දුව දකුණත් පිතිකරුවා තුළට දෝලනය කළ හැකි වේග පන්දු යවන්නා ලෙස ධනංජය ලක්ෂාන් හැදින්විය හැකි බවයි ලසිත් මාලිංග සිය වීඩියෝව ඔස්සේ පෙන්වා දුන්නේ.

දෝලනය තුළින් නව පන්දුවෙන් මෙන්ම වේගය අඩාල කර යැවිය හැකි පන්දු මිශ්‍රණය හේතුවෙන් ඉනිමේ අවසන් පන්දුවාර තුළ දී ද ධනංජය ලක්ෂාන්ට කණ්ඩායම වෙනුවෙන් වැඩි සේවයක් ලබා දිය හැකි බව හිටපු නායකයාගේ අදහසයි.

කෙසේ වෙතත්, ඉනිමේ මැද පන්දුවාර තුළ දී ද ඔහු කඩුලු ලබා ගැනීමට උත්සාහ නොකර ලකුණු ලබා නොදී පන්දු යවන ආකාරය පිළිබද වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් බව මෙහිදී ලසිත් මාලිංග වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ධනංජය ලක්ෂාන් නව පන්දුවෙන් වැඩි දක්ෂතාවයක් දක්වන බැවින් ඔහු කණ්ඩායමට කැදවීමේ දී ඒ පිළිබද අවධානය යොමු කර නව පන්දුවෙන් පන්දු යැවීමේ අවස්ථාව ඔහුට ලබා දීම වැදගත් බවයි මාලිංග සදහන් කළේ.

Leave a comment