Ultimate magazine theme for WordPress.

11 වන තරගයත් වැස්සට සේදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ආරාධිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ 11 වන තරගය ද අද(22) වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව අතහැර දැමීමට සිදු වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජයග්‍රහනය කිරීම සදහා SLC Greys කණ්ඩායමට එරෙහිව ලකුණු 157ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි SLC Blues කණ්ඩායම, වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පන්දුවාර 3.5ක් අවසානයේ කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 33ක්.

සධීර සමරවික්‍රම පන්දු 13කින් නොදැවී ලකුණු 20ක් ලබා කඩුල්ලේ රැදී සිටි අතර, ධනංජය ලක්ෂාන් ලකුණු 7කට දුවද්දී දැවී ගියා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Greys කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 156ක් රැස් කළේ චරිත් අසලංක හා නුවනිදු ප්‍රනාන්දු ලබා ගත් අර්ධ ශතකවලින් සවිමත් වෙමින්.

අසලංක පන්දු 44කින් නොදැවී ලකුණු 57ක් ලබා ගත්තේ හයේ පහර හා හතරේ පහර 3 බැගින් එල්ල කරමින්.

නුවනිදු පන්දු 36කින් නොදැවී ලකුණු 50ක් රැස් කළේ හයේ පහර 2ක් හා හතරේ පහර 3ක් සමගින්.

පන්දු යැවීමේ දී කලන පෙරේරා කඩුලු 2ක් බිද හෙලූ අතර, ධනංජය ලක්ෂාන් හා සහන් ආරච්චිගේ එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Greys කණ්ඩායම මේ වන විටත් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා අවසන්ව ඇති අතර, මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන්නේ SLC Blues කණ්ඩායමයි.

ඔවුන්ට ප්‍රසාද ලකුණු 6ක් හිමිව ඇති අතර, තෙවැනි ස්ථානයේ පසුවන SLC Reds කණ්ඩායම ප්‍රසාද ලකුණු 5කට හිමිකම් කියනවා.

ඒ අනුව අද රාත්‍රියේ පැවැත්වෙන Reds හා Greens කණ්ඩායම් අතර තරගයෙන් Reds කණ්ඩායම ජය ගතහොත් ඔවුන් අවසන් තරගයට සුදුසුකම් ලබන අතර, පරාජයට පත් වුවහොත් Blues කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබනු ඇති.

ඊයේ පැවැති තරගාවලියේ 9 වන හා 10 වන තරග ද අවසන් වුණේ වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරවයි.