Ultimate magazine theme for WordPress.

“100% ක්ම, ඔහු නායකත්වයෙන් ඉවත් කළ යුතුයි.” ගම්භීර්ගෙන් කෝලිට දොස් මුරයක්

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායකත්වය වෙනස් කළ යුතු බව ඉන්දීය කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු සහ අයි.පී.එල් ශූරතා ද්විත්වයක් ජය ගැනීම සදහා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට නායක්තවය ලබා දුන් ගෞතම් ගම්භීර් පවසනවා.

ඒ, ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම මෙවර තරග වාරයේ දී අවසන් වටය (playoffs) සදහා සුදුසුකම් ලැබුව ද, ඊයේ (6) පැවැති අවසන් වටයේ දෙවැනි තරගයෙන් ඔවුන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම හමුවේ කඩුලු 6කින් පරාජයට පත්වීමත් සමග තරගාවලියෙන් ඉවත් වීමටයි බැංගලෝර් කණ්ඩායමට සිදු වුණේ.

අවසන් වරට ඔවුන් ක්‍රීඩා කළ තරග පහම පරාජයට පත්ව ඇති අතර, මෙවර තරග වාරයේ දී ජයග්‍රහන 7ක් හිමි කරගනිද්දී පරාජයන් 8ක් අත් කර ගැනීමට බැංගලෝර් කණ්ඩායමට සිදු වුණා.

2013 වසරේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නිත්‍ය නායකත්වය භාර ගත් විරාට් කෝලි තරග 125කදී කණ්ඩායම මෙහෙයවා ඇති අතර, ඉන් තරග 63ක් පරාජයට පත් වී ජය ගෙන ඇත්තේ තරග 55ක් පමණයි.

එහි ජයග්‍රාහී ප්‍රතිශතය සටහන් වන්නේ 46% ක් ලෙසයි.

අයි.පී.එල් තරගාවලියන්හි සෙසු නායකයින්ගේ ජයග්‍රාහී ප්‍රතිශත පිළිබද සලකා බැලීමේ දී මහේන්ද්‍ර සිං දෝනි 58%ක්, රෝහිට් ෂර්මා 60%ක්, ඩේවිඩ් වෝනර් 55%, දිනේෂ් කාර්තික් 50%ක්, ස්ටීවන් ස්මිත් 59%ක්, ෂ්රෙයස් අයියර් 53%ක්, කේ.එල් රාහුල් 42%ක්, ගෞතම් ගම්භීර් 55%ක් සහ සචින් තෙන්ඩුල්කාර් 58%ක් රදවා ගැනීමට සමත් වී තිබෙනවා.

2016 වසරේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා අනුශූරයින් වූ බැංගලෝර් කණ්ඩායම 2017 සහ 2019 වසරවලදී අවසන් ස්ථානයට පත් වෙමින් තරගාවලිය නිමා කළ අතර, 2018 වසරේ දී ඔවුන් 6 වැනි ස්ථානයයි දිනා ගත්තේ.

ඒ අනුව බැංලෝර් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් අවශ්‍යදැයි විමසූ පැනයකට පිළිතුරු දෙමින් ගෞතම් ගම්භීර් සදහන් කර සිටියේ අනිවාර්යයෙන්ම එය සිදු විය යුතු බවයි.

“සියයට සියයක්ම. මොකද ගැටලුව තමයි වගකීම. වසරක 8ක් කියන්නේ දීර්ඝ කාලයක් (ශූරතාවයක් ජය ගැනීමෙන් තොරව). මට කියන්න වෙනත් නායකයෙක්….අමතක කරන්න නායකත්වය, වසර 8ක් තිස්සේ ශූරතාවයක් දිනා ගන්නෙ නැතුව දිගටම රැදී සිටින වෙනත් ක්‍රීඩකයෙක් මට කියන්න. නායකයෙකු වගකීම ගත යුතුයි.” යනුවෙන් ගම්භීර් සදහන් කළා.

“එය එක වසරක් පිළිබද හෝ මෙම වසර පිළිබදව හෝ නෙවෙයි. විරාට් කෝලිට විරුද්ධව නෙවෙයි මම කතා කරන්නෙ.ඔහු අත ඔසවා කියන්න අවශ්‍යයයි ‘ඔව්, මම වගකියනවා’ කියලා”

“වසර 8ක් කියනනේ දීර්ඝ, දීර්ඝ කාලයක්. බලන්න ආර්. අශ්වින්ට මොකද වුණේ කියලා. වසර දෙකක් නායකත්වය දැරුවා. ඔහුට සාර්ථක වෙන්න බැරිවුණා, ඔහුව ඉවත් කරා. දෝනි ජයග්‍රහනනය කරලා තියෙනවා ශූරතා 3ක්, රෝහිට් දිනලා තියෙනවා ශූරතා 4ක්, ඒකයි හේතුව ඔවුන් දීර්ඝ කාලයක් නායකත්වය දැරීමට. රෝහිට් ෂර්මා අසාර්ථක වුණානම් වසරක 8ක් මට විශ්වාසයි ඔහුව ඉවත් කරනවා නායකත්වයෙන්. විවිධ පුද්ගලයින්ට විවිධ ආකාරයෙන් සැලකීම සිදු නොකළ යුතුයි.”

“ගැටලුව සහ වගකීම ආරම්භ වන්නේ ඉහළ සිටයි. කළමණාකාරීත්වයෙන් හෝ සහාය කාර්යය මණ්ඩලයෙන් නෙවෙයි,  නායකත්වයෙන්. ඔබයි නායකයා, ඔබයි මෙහෙයවන්නා. ඔබට කීර්තිය ලැබෙනවා වගේම ඔබ විවේචනයත් භාර ගත යුතුයි.”

“ඔබට දිගටම පැවසිය හැකියි ‘අපි අවසන් වටයට තේරුණා. අපි එයට සුදුසුයි’ කියලා. ඇත්තෙන්ම නැහැ. ආර්.සී.බී කණ්ඩායම අවසන් වටයට සුදුසුකම් ලැබීමට කිසිසේත් සුදුසු නැහැ.”

Leave a comment