Ultimate magazine theme for WordPress.

හරුන් ලෝගාට් දකුණු අප්‍රිකා ක්‍රිකට් අතුරු කමිටුවට

දකුණු අප්‍රිකා ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් එරට රජය විසින් අතුරු කමිටුවක් පත් කර තිබෙනවා.

විශ්‍රාමික විනිසුරු Zak Yaqoob ගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවට සමස්ත සාමාජිකයින් 9 දෙනෙකු ඇතුළත්.

එරට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාමාජිකයින්ගේ නම් ප්‍රකාශයට පත් කළ අතර, ඊට අයි.සී.සී සහ දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිළධාරී හරුන් ලෝගාට් ද අයත්.

හිටපු පිතිකරු Andre Odendaal සහ දකුණු අප්‍රිකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමයේ (SACA) සභාපති Omphile Ramela ද අතුරු කමිටුවට පත් කර තිබෙනවා.

කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ Stavros Nikalo, Judith February, Andile Dawn Mbatha, Xolani Vonya සහ Nkeko Caroline Mampuru යන අයයි.

දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනයේ 10 දෙනෙකුගෙන් යුත් අධ්‍යක්ෂ මණ්ඩලය පසුගියදා ඉල්ලා අස්වීමෙන් අනතුරුවයි මෙම අතුරු කමිටුව පත් කෙරුණේ.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ කටයුතුවලට මැදිහත් වීමට තමා අදහස් කරන බවට එරට ක්‍රීඩා අමාත්‍යවරයා පසුගිය 14 වනදා වන විට ජගත් ක්‍රිකට් කවුන්සලයට දැනුම් දී තිබුණා.

ක්‍රිකට් ආයතනයේ ඉහළ නිළධාරීන් සිදු කර ඇති විෂමාචාර ක්‍රියා හේතුවෙන් මෙලෙස එහි කටයුතුවලට මැදිහත් වන බවයි එරට ක්‍රීඩා අමාත්‍යවරයා සදහන් කළේ.

අනතුරුව පාලන ප්‍රතිසංස්කරණ සහ රජය ඔවුන්ගේ කටයුතු සදහා මැදිහත් නොවිය යුත්තේ ඇයි ද යන්න පිළිබද ඔක්තෝබර් 27 වන විට ලිඛිතව තමාට දැනුම් දෙන ලෙසට එරට ක්‍රීඩා අමාත්‍යවරයා දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතන බළධාරීන්ට දැනුම් දී තිබූ පසුබිමක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පසුගිය 26 වනදා සිය ධූරවලින් ඉල්ලා අස් වීම විශේෂත්වයක්.

කෙසේ වෙතත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ නීති රීති ප්‍රකාරව කිසිදු සාමාජික රටක ක්‍රිකට් ආයතනවලට රජයේ මැදිහත් වීමක් සිදු නොවිය යුතු අතර, එම ආයතන ස්වාධීනව ක්‍රියා කළ යුතුයි.

එසේ නොවන්නේ නම් අදාළ රටට එරෙහිව ජාත්‍යන්තර තරග තහනමක් පැනවීමේ බලය අයි.සී.සීය සතු වනවා.

දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ කාලීන ස්වාධීන විමර්ශනයක් සිදු කෙරුණු අතර, එහි ප්‍රතිපලයක් ලෙස ප්‍රධාන විධායක නිළධාරිවරයා ද පසුගිය අගෝස්තු මාසයේ දී ධූරයෙන් පහ කෙරුණා.

ඒ, සිදු කළ බව කියන විෂමාචාර ක්‍රියා හේතුවෙන්.

අනතුරුව දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ කටයුතු අත්හිටුවමින් එහි පාලනය සියතට ගැනීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩා සම්මේලනය හා ඔලිම්පික් කමිටුව (SASCOC) පසුගිය සැප්තැම්බර් 10 වැනිදා තීරණය කළ‍ේ ක්‍රිකට් ආයතනයේ නිළධාරීන්ට සියලු පරිපාලන කටයුතුවලින් ඉවත් වන ලෙසට ලිඛිතව දන්වමින්.

කෙසේ වෙතත්, දකුණු අප්‍රිකා ක්‍රිකට් බළධාරීන් ඊට එකගතාවය පල කර තිබුණේ නැහැ.

Leave a comment