Ultimate magazine theme for WordPress.

සුපිරි සටනක් අවසානයේ පළමු නිල නොවන ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව නිමා වෙයි

Match Report

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වෙන තරග 2කින් යුත් නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජය පරාජයකින් තොරව අද (03) ගාල්ලේ දී නිමා වුණා.

තරගය ජය ගැනීම සදහා සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 333 ක ඉලක්කයක් හඹා ගිය ලයන්ස් කණ්ඩායමට තරගයේ සිව්වැනි හා අවසන් දිනය වන අද දිනය නිමා වන විට කඩුලු 7 ක් දැවී ලබා ගැනීමට හැකි වී තිබුණේ ලකුණු 221 ක් පමණයි.

Josh Bohannon ලකුණු 57 ක් ද, Jack Haynes ලකුණු 43 ක් ද, Jamie Smith නොදැවී ලකුණූ 39 ක් ද රැස් කළා. පන්දු යැවීමේ දී මිලාන් රත්නායක ලකුණු 31 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ලක්ෂිත මනසිංහ ලකුණු 55 කට කඩුලු 2 ක් දවා ගත්තා.

අද දිනයට තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 580 ක් ලබා සිටි අතර, ඔවුන් සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 9ක් දැවී ලකුණු 663 ක් ලබා සිටියදීයි.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් ද්විත්ව ශතකයක් වාර්තා කළ නිශාන් මදුෂ්ක ලකුණු 241 කට දැවී ගියා. පන්දු 423 කින් වාර්තා වූ ඔහුගේ ඉනිම හයේ පහර 4 කින් හා හතරේ පහර 25 කින් වර්ණවත් වුණා. ඔහු සමග ඉනිම ආරම්භ කළ ඕෂද ප්‍රනාන්දු ලකුණු 114 ක් රැස් කළ අතර, නායක නිපුන් ධනංජය ලකුණු 128 ක් ලබා ගත්තා. ලක්ෂිත මනසිංහ ලකුණු 73 කට දැවී ගියා. නුවනිදු ප්‍රනාන්දු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 80 ක්.

පන්දු යැවීමේ ද Jack Carson ලකුණු 173 කට කඩුලු 4 ක් ද, Liam Patterson-White ලකුණු 231 කට කඩුලු 3 ක් ද දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා A කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 136 ක් පමණක් රැස් කළ අතර, පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ලයන්ස් පිල සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 467 ක්.

Leave a comment