Ultimate magazine theme for WordPress.

සැම්සන්ගේ සුපිරි ශතකය අවසන් පන්දුවෙන් අපතේ යයි – Match Report

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායක සංජු සැම්සන්ගේ සුපිරි ශතකය අපතේ යවමින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගයෙන් ලකුණු 4ක තියුණු ජයක් වාර්තා කිරීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම අද(12) සමත් වුණා.

සැම්සන් මෙම තරගයේ දී වාර්තා අතරට එක් වුණේ අයි.පී.එල් තරග ඉතිහාසයේ දී නායකත්වය දැරූ පළමු තරගයේ දී ම ශතකයක් වාර්තා කළ පළමු පිතිකරුවා ලෙසයි.

මුම්බායි හි වැන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් පංජාබ් කිංග්ස් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 221ක් රැස් කළා.

නායක කේ.එල් රාහුල් ලකුණු 91ක් රැස් කළේ පන්දු 50කට මුහුණ දෙමින්.

ඔහුගේ ඉනිමට හයේ පහර 5ක් සහ හතරේ පහර 7ක් ඇතුළත්.

දීපක් හූදා පන්දු 28කින් වේගවත් ලකුණු 64ක් ලබා ගත් අතර, ඔහුගේ ඉනිම හයේ පහර 6කින් සහ හතරේ පහර 4කින් වර්ණවත් වුණා.

ක්‍රිස් ගේල් ලකුණු 40(28)යි.

නිකලස් පූරාන් පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගිය අතර, ඔහු දවා ගැනීම සදහා චේතන් සාකරියා ලබා ගත් සුපිරි උඩ පන්දුව බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තා.

පන්දු යැවීමේ දී චේතන් සාකරියා ලකුණු 31කට කඩුලු 3ක් බිද හෙලූ අතර, ක්‍රිස් මොරිස් ලකුණු 41කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට පන්දුවාර 20 නිමා කිරීමට සිදු වූයේ කඩුලු 6ක් දැවී ලකුණු 217ක් ලබා ගනිමින්.

බෙන් ස්ටොක්ස් ලකුණු නොලබා දැවී ගිය අතර, ජොස් බට්ලර් සහ රියාන් පරාග් ලකුණු 25 බැගින් රැස් කළා.

ශිවම් ඩුබේ ලකුණු 23කට දැවී ගියා.

කෙසේ වෙතත්, හුදෙකලා සටනක් දියත් කරමින් නායක සංජු සැම්සන් සිය 3 වන අයි.පී.එල් ශතකය වාර්තා කළ නමුත්, තරගයේ ජයග්‍රහනය රාජස්ථාන් කණ්ඩායමට හිමි කර දීමට තරම් එය ප්‍රමාණවත් වූයේ නැහැ.

පන්දු 63කින් වාර්තා වූ ඔහුගේ ලකුණු 119ට හයේ පහර 7ක් සහ හතරේ පහර 12ක් ඇතුළත්.

තරගයේ අවසන් පන්දුවාරයේ දී රාජස්ථාන් කණ්ඩායමට තරගය ජය ගැනීම සදහා ලකුණු 13ක් අවශ්‍ය වූ නමුත් ඔවුන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 8ක් පමණයි.

අවසන් පන්දුවේ දී ලකුණු 5ක් තරගය ජය ගැනීමට අවශ්‍ය තිබූ අතර, එම අවස්ථාවේ දී පන්දුවට පහරදුන් සංජු සැම්සන්ට එම ලකුණු ප්‍රමාණය ලබා ගැනීමට හැකියාව නොලැබුණේ උඩ පන්දුවක් ලබා දෙමින් දැවී යාමත් සමගයි. 

පන්දු යැවීමේ දී අර්ෂ්දීප් සිං කඩුලු 3ක් සහ මොහොමඩ් ෂාමි කඩුලු 2ක් දවා ගත්තා.

Leave a comment