Ultimate magazine theme for WordPress.

ස්ථාන 61 වෙනුවෙන් ශ්‍රී ලාංකිකයින් 9ක් ඇතුළු 292 ක් අද IPL වෙන්දේසියේ – සියලු තොරතුරු මෙන්න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 14 වන අදියරට අදාළ ක්‍රීඩක වෙන්දේසිය අද(18) සිදු කෙරෙනවා.

පස්වරු 3ට චෙන්නායිහී දී ක්‍රීඩක වෙන්දේසිය ආරම්භ කරන බවයි ඉන්දීය ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 1114 දෙනෙකු  ලියාපදිංචි වී සිටිය ද අවසන් ලැයිස්තුවට ඇතුළත්ව ඇත්තේ ක්‍රීඩකයින් 292ක් පමණයි.

වෙන්දේසිය සදහා ඉන්දීය රුපියල් කෝටි දෙකක මූලික වටිනාකමකට හිමිකම් කියන ක්‍රීඩක ඛාණ්ඩයට ක්‍රීඩකයින් 10 දෙනෙකු ඇතුළත්.

ඊට හර්බජාන් සිං සහ කෙදාර් ජාදාව් යන ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනා මෙන්ම, ග්ලේන් මැක්ස්වෙල්, ස්ටීවන් ස්මිත්, ශකිබ් අල් හසාන්, මොයීන් අලී, සෑම් බිලින්ග්ස්, ලියම් ප්ලන්කට්, ජේසන් රෝයි සහ මාර්ක් වුඩ් යන විදෙස් ක්‍රීඩකයින් 8 දෙනා ඇතුළත්ව සිටිනවා.

ඉන්දීය රුපියල් කෝටි 1.5 ඛාණ්ඩයට ක්‍රීඩකයින් 12 දෙනෙකු අයත් වන අතර, ඉන්දීය රුපියල් කෝටි එකක මූලික වටිනාකමක් සහිතව වෙන්දේසියට ඉදිරිපත්ව සිටින ක්‍රීඩකයින් ගණන 11ක්.

ක්‍රීඩක වෙන්දේසියට ඉන්දීය ක්‍රීඩකයින් 164 දෙනෙකු, විදෙස් ක්‍රීඩකයින් 125 දෙනෙකු සහ ටෙස්ට් වරම් නොලැබූ රටවලින් ක්‍රීඩකයින් තිදෙනෙකු ලැයිස්තුගත වී සිටින බවයි තරගාවලි සංවිධායකයින් නිවේදනය කළේ.

වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 31 දෙනෙකු ලියාපදිංචි වී තිබූ නමුත්, වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 9ක්.

ඒ අනුව  කුසල් පෙරේරා, තිසර පෙරේරා, කෙවින් කොත්තිගොඩ, මහේෂ් තීක්ෂණ, විජයකාන්ත් වියස්කාන්ත්, වනිදු හසරංග, දුෂ්මන්ත චමීර, දසුන් ශානක සහ ඉසුරු උදාන යන ක්‍රීඩකයින් අද පැවැත්වෙන වෙන්දේසියට ඉදිරිපත් කෙරෙනු ඇති.

විදෙස් ක්‍රීඩකයින් 42 දෙනෙකු ඇතුළුව ක්‍රීඩකයින් 139 දෙනෙකු කණ්ඩායම් 8 විසින් සිය සංචිතවල රදවා ගැනීමට පසුගියදා තීරණය කළා.

සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයින් 25 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරා ගත හැකි අතර, ඒ අනුව පවතින පුරප්පාඩු ප්‍රකාරව සියලු කණ්ඩායම් හිමිකරුවන් විසින් ක්‍රීඩක වෙන්දේසියේ දී උපරිම වශයෙන් ක්‍රීඩකයින් 61 දෙනෙකු මිලදී ගැනීමට නියමිතව තිබෙනවා.

ඉන් ක්‍රීඩකයින් 22 දෙනෙකු පමණක් විදෙස් ක්‍රීඩකයින් වනු ඇති.

සිය කණ්ඩායම් සකස් කර ගැනීම වෙනුවෙන් සෑම කණ්ඩායමකටම ඉන්දීය රුපියල් කෝටි 85ක මුදලක් මෙවර ද වැය කළ හැකි බවයි තරගාවලි සංවිධායකයින් සදහන් කළේ.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට විදෙස් ක්‍රීඩකයෙකු ද ඇතුළුව ක්‍රීඩකයින් 6 දෙනෙකු ක්‍රීඩක වෙන්දේසියේ දී මිලදී ගත හැකි අතර, ඒ සදහා ඉන්දීය රුපියල් කෝටි 19.9ක මුදලක් ඔවුන් සතුව ඉතිරිව පවතිනවා.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට විදෙස් ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළුව ලබා ගත හැකි සමස්ත ක්‍රීඩකයින් සංඛ්‍යාව 8ක්.

ක්‍රීඩකයින් මිලදී ගැනීම සදහා කෝටි 13.4 ක මුදලක් ඔවුන් සතුව ඉතිරිව පවතිනවා.

පන්ජාබ් කිංග්ස් (කිංග්ස් ඉලවන් පන්ජාබ්) කණ්ඩායමට විදෙස් ක්‍රීඩකයින් 5 දෙනෙකු ද ඇතුළුව මිලදී ගත හැකි සමස්ත ක්‍රීඩකයින් සංඛ්‍යාව 9ක් වන අතර, ඒ සදහා එම කණ්ඩායම සතුව ඉන්දීය රුපියල් කෝටි 53.2 ක මුදලක් වියදම් කිරීමේ හැකියාව පවතිනවා.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු ද ඇතුළුව සමස්ත ක්‍රීඩකයින් 8 දෙනෙකු මිලදී ගත හැකියි.

ඔවුන් සතුව ඉතිරිව පවතින මුදල් ප්‍රමාණය කෝටි 10.75 ක්.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට විදෙස් ක්‍රීඩකයින් 4 දෙනෙකු ද ඇතුළුව ලබා ගත හැකි සමස්ත ක්‍රීඩකයින් සංඛ්‍යාව 7ක් වන අතර, කෝටි 15.35 ක මුදලක් ඔවුන් සතුව ඉතිරිව පවතිනවා.

කෝටි 37.85 ක මුදලක් වියදම් කිරීමේ හැකියාව පවතින රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට විදෙස් ක්‍රීඩකයින් 3 දෙනෙකු ද ඇතුළුව ලබා ගත හැකි සමස්ත ක්‍රීඩකයින් සංඛ්‍යාව 9ක්.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට විදෙස් ක්‍රීඩකයින් 3 දෙනෙකු ද ඇතුළුව ලබා ගත හැකි සමස්ත ක්‍රීඩකයින් සංඛ්‍යාව 11ක් වන අතර, කෝටි 35.40 ක මුදලක් ඔවුන් සතුව ඉතිරිව පවතිනවා.

සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට එක් විදෙස් ක්‍රීඩකයෙකු ඇතුළුව ලබා ගත හැකි සමස්ත ක්‍රීඩකයින් සංඛ්‍යාව 3ක්.

ඔවුන් සතුව ඉතිරිව පවතින්නේ කෝටි 10.75 ක මුදලක්.

Leave a comment