Ultimate magazine theme for WordPress.

ශූරයින්ට කෝටි 71 ක් ; IPL සියලු සම්මාන හා ත්‍යාග මුදල් බෙදී ගියේ මෙහෙමයි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ෂුබ්මන් ගිල් සමත් වුණා.

ඒ, මෙවර තරගාවලියේ දී ඉනිම 17 කදී ලකුණු 890 ක් රැස් කරමින් ඔහු දැක් වූ දක්ෂතා හේතුවෙන්. ශතක 3 ක් හා අර්ධ ශතක 4ක් වාර්තා කිරීමට ඔහු සමත් වූ අතර, ඉනිමක සාමාන්‍ය සටහන්ව ඇත්තේ 59.33 ක් ලෙසයි. මෙම සම්මානය වෙනුවෙන් ගිල්ට ඉන්දීය රුපියල් ලක්ෂ 10 ක මුදලක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 36 ක පමණ මුදලක් හිමි වුණා.

මෙවර අයි.පී.එල් තරගාවලිය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ශූරතාවය හිමි කර දෙමින් අද අලුයම නිමා වූ අතර, ගිල් නියෝජනය කළ ටයිටන්ස් කණ්ඩායමට අනුශුරතාවයෙන් සෑහීමකට පත් වීමට සිදු වුණා.

තරගාවලියේ ශූරතාවය වෙනුවෙන් සුපර් කිංග්ස් කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 20 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 71 ක පමණ මුදලක් හිමි වූ අතර, අනුශූරයින් වූ ටයිටන්ස් කණ්ඩායමට හිමි වූ ත්‍යාග මුදල ඉන්දීය රුපියල් කෝටි 12.5 ක්. එනම්, ශ්‍රී ලංකා රුපියල් කෝටි 45 ක පමණ මුදලක්.

තරගාවලියේ වීරයා සම්මානයට අමතරව තවත් සම්මාන රැසකින් පිදුම් ලැබීමට ෂුබ්මන් ගිල් සමත් වීම කැපී පෙනෙනවා.

ඒ අනුව තරගාවලියේ වැඩිම ලකුණු ලාභියාට හිමි වන තැඹිලි පැහැති හිස්වැසුම ද ෂුබ්මන් ගිල් හිමි කර ගත්තා. තවද තරගාවලියේ වැඩිම හතරේ පහර සංඛ්‍යාවක් එල්ල කළ (හතරේ පහර 85 ක්) පිතිකරු, Game Changer of the Season සම්මානය ද දිනා ගත්තේ ෂුබ්මන් ගිල් විසින්. එම සම්මාන තුන වෙනුවෙන් ද ඔහුට ඉන්දීය රුපියල් ලක්ෂ 10 බැගින් වූ මූල්‍ය ත්‍යාග හිමි වුණා.

තරගාවලියේ වැඩිම කඩුලුලාභියාට හිමිවන දම් පැහැති හිස්වැසුම ටයිටන්ස් කණ්ඩායමේ මොහමඩ් ෂාමි දිනා ගත්තේ තරග 17 කදී කඩුලු 28 ක් දවා ගනිමින්. එම සම්මානය සමග ඔහුට ඉන්දීය රුපියල් ලක්ෂ 10 ක මුදලක් හිමි වුණා.

තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට සමත් වුණේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කළ යශස්වි ජයිස්වාල්. ඒ වෙනුවෙන් ඔහුට හිමි වූ ත්‍යාග මුදල ඉන්දීය රුපියල් ලක්ෂ 10 ක්.

තරගාවලියේ හොදම ප්‍රහාරාත්මක වේගයට හිමිකම් කියූ ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබුවේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලොර් කණ්ඩායමේ ග්ලේන් මැක්ස්වෙල්. ඒ, 183.48 ක ප්‍රහාරාත්මක වේගයකට හිමිකම් කියමින්. මෙම සම්මානය වෙනුවෙන් ඔහුට ද ඉන්දීය රුපියල් ලක්ෂ 10 ක මුදලක් හිමි වුණා.

තරගාවලිය‍ේ දිගම හයේ පහරට හිමි සම්මානය මීටර් 115 ක දුරකින් යුත් හයේ පහරක් එල්ල කළ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායක ෆෆ් ඩු ප්ලෙසිස් විසින් හිමි කර ගත්තා. ඒ, ඉන්දීය රුපියල් ලක්ෂ 10 ක ත්‍යාග මුදලක් ද සමගින්.

හොදම උඩ පන්දුව රැක ගත් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තේ ටයිටන්ස් කණ්ඩායමේ රෂීඩ් ඛාන්. මෙම සම්මානය වෙනුවෙන් ඔහුට ද ඉන්දීය රුපියල් ලක්ෂ 10 ක ත්‍යාග මුදලක් හිමි වුණා.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තරගාවලියේ හොදම ජීව ගුණයෙන් යුතු කණ්ඩායමට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා.

මේ අතර, අවසන් මහා තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ චෙන්නායි කණ්ඩායමේ ඩෙවෝන් කොන්වේ. ඔහුට ඉන්දීය රුපියල් ලක්ෂ 5ක ත්‍යාග මුදලක් හිමි වුණා.

Leave a comment