Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගාවලිය ගැන සාකච්ඡා යළිත් – අපේක්ෂිත දිනවකවානු මෙන්න

දෙවරක් කල් දැමුණු ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් වන සාකච්ඡා දෙරටේ ක්‍රිකට් ආයතන අතර මේ වන විට යළි ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව තරගාවලිය අප්‍රේල් සහ මැයි මාසවලදී පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙර තරග 3කින් යුත් අදාළ ටෙස්ට් තරගාවලිය පසුගිය ජූලි මාසයේ දි පැවැත්වීමට පළමුව නියමිතව තිබූ අතර, කොරෝනා වසංගතය හේතුවෙන් එය කල් දැමුණා.

අනතුරුව පසුගිය ඔක්තෝම්බර් – නොවැම්බර් මාසවලදී තරගාවලිය පැවැත්වීමට සැලසුම් කළ ද එය ද තාවකාලිකව අවලංගු කිරීමට සිදු වූයේ මෙරටට පැමිණීමේ දී බංග්ලාදේශ ක්‍රීඩකයින්ට මුහුණ දීමට සිදු වන දින 14ක නිරෝධායන කාලයට ඔවුන් එකග නොවීම හේතුවෙන්.

එංගලන්ත කණ්ඩායම ද ජනවාරි මාසයේ දී ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කිරීම වෙනුවෙන් දිවයිනට පැමිණීමට නියමිතව ඇති අතර, එහිදී ලිහිල් නිරෝධායන ක්‍රමවේදයක් අනුගමනය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එම ක්‍රියාවළියම බංග්ලාදේශ ක්‍රීඩකයින් වෙනුවෙන් ද අවශ්‍ය බවටයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සදහන් කර ඇත්තේ.

වාර්තාවන අන්දමට එංගලන්ත කණ්ඩායම ජනවාරි 3 වනදා දිවයිනට පැමිණීමට නියමිත අතර, පළමු ටෙස්ට් තරගය ඉන් දින 11කට පසුව එනම් ජනවාරි 14 වනදා ආරම්භ වීමට නියමිතයි.

මෙම ටෙස්ට් තරගාවලි ද්විත්වයම ලෝක ටෙස්ට් ශූරතාවලියට ද අයත් වනවා.

Leave a comment