Ultimate magazine theme for WordPress.

“ශ්‍රී ලංකා පිතිකරුවන් එදා කඩිමුඩියෙ ගැහුවද දන්නේ නෑ” – තරග පාවා දුන් අසීෆ් සිය හොදම තරගය සිහිපත් කරයි

පාකිස්තානය යනු දක්ෂ වේග පන්දු යවන්නන් බිහි කළ සහ බිහි කරමින් සිටින රටක් බව සියලු දෙනා දන්නා කරුණක්.

ශොයිබ් අක්තාර්, වසීම් අක්‍රම් යන නම් ඇසීමේ දී පවා පිතිකරුවන්ගේ පමණක් නොව ප්‍රතිවාදී ප්‍රේක්ෂකයින්ගේ පවා ඇගේ හිරිකඩු පිපෙන බව නොරහසක්.

එවැනි දක්ෂ වේග පන්දු යවන්නන් අතරේ එක් කලක තවත් ප්‍රබල වේග පන්දු යවන්නෙකු ලෙසින් පිතිකරුවන් බිය ගැන් වූ ක්‍රීඩකයෙකු ලෙස මොහොමඩ් අසීෆ් හැදින්විය හැකියි.

කෙසේ වෙතත්, ලොවම කළඹමින් මොහොමඩ් අසීෆ්, මොහොමඩ් අමීර් සහ සල්මන් බට් තරග පාවාදීමේ චෝදනාවලට 2010 වසරේ දී හසු වූ අතර, ඒ හේතුවෙන් මොහොමඩ් අසීෆ්ට වසර 7ක ක්‍රිකට් තහනමක් (ඉන් වසර දෙකක් අත්හිටුවූ) සහ වසරක සිර දඩුවමක් පැනවුණා.

2015 වසරේ දී මෙම ක්‍රිකට් තහනම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ඉවත් කළ ද, ඉන් අනතුරුව ඔහුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී දැක ගැනීමට කිසිවෙකුට අවස්ථාවක් හිමි වූයේ නැහැ.

පසුව මෙතෙක් ප්‍රසිද්ධියේ නිරතුරුව ඔහුව දැක ගැනීමට නොහැකි වුවත්, cricinfo වේබ අඩවිය සමග මොහොමඩ් අසීෆ් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අදහස් පල කර තිබෙනවා.

එහි සාරාංශගත පරිවර්ථනයක් අප මෙලෙස ඉදිරිපත් කරන්නෙමු.

ඔබේ ක්‍රිකට් දිවිය අවසන් වූ ආකාරය සම්බන්ධයෙන් ඔබට කණගාටුවක් තියෙනවද?

“අනිවාර්යයෙන්ම. මගේ අභිලාෂය වුණේ මගේ ක්‍රිකට් ක්‍රීඩා දිවිය හොදින් අවසන් කරන්න. මට කණගාටුයි. නමුත් ඒක වෙනම කතාවක්. මම හිතනවා මොන දේ වුණත් ඒක වෙන්න තිබුණ දෙයක්. හැමෝම තම ජීවිතය ගැන කනගාටු වෙනවා. කිහිප දෙනෙකුට ඔවුන් ගැන කතා කරන්න අවශ්‍යයි. නමුත් මම හිතනවා මම හොදින්. හැමෝම අතින් වැරැදි වෙනව. මමත් කරා.

ක්‍රීඩකයින් මට කලින් සහ පසුවත් තරග පාවාදීම්වල නිරත වුණා. සමහරු දැන් පාකිස්තාන ක්‍රිකට් ආයතනයත් සමග කටයුතු කරනවා. සමහරු ක්‍රීඩා කරනවා. හැමෝටම දෙවැනි අවස්ථාවක් ලැබුණ. ඒත් කිහිපදෙනෙක්ට නැහැ.(මට වගේ). මම ලෝකයම පිළිගත් වේග පන්දු යවන්නෙක් වුණත් පාකිස්තාන ක්‍රිකට් ආයතනය මාව ආරක්ෂා කරන්න උත්සාහ කළේ නැහැ.

ඉතිහාසයේ කුමක් වුවත්, මම ක්‍රීඩා කළ කාලයේ මම ලෝකයම හෙල්ලුවා. ඒක මට ගොඩක් වටිනවා හිතන්න. අද වුණත්, වසර ගණනාවකට පසුව හොදම පිතිකරුවන්ට මාව මතකයි. ඒගොල්ලො මං ගැන කතා කරනවා.ඉතිං ඒක මට ගොඩක් ආඩම්බර වෙන්න පුලුවන් දෙයක්. කෙවින් පීටර්සන්, ඒ.බී. ඩි විලියස්, හෂීම් අම්ලා මම ගැන ඉහළින් කතා කරනවා. ඒකයි මට තියෙන සතුට.”

ඔබේ ක්‍රීඩා දිවියේ ඔබ යැවූ හොදම පන්දු යැවීම මොකක්ද?

මම යවපු හැම පන්දු යැවීමකටම මම කැමතියි. මොකද හැම පන්දු යැවීමකටම කතාවක් තියෙනවා. මගේ හැම පන්දු යැවීමක්ම හොදයි. නමුත් මට මතකයි ඉන්දියාවට එරෙහි කරච්චි ටෙස්ට් තරගය. එකල විශාලතම පිතිකරණ ලැයිස්තුව. මට මතකයි ක්‍රීඩාගාරයේ ඉදං ශොයිබ් අක්තාර් කනස්සල්ලෙන් ඉන්නවා කොහොමද ඔවුන්ව දවා ගන්නේ කියල. මම ඔවුන්ව දවා ගෙන පෙන්නුවා. ඉතිං ඒ තරගය මට මතකයි. ඒ වගේම මහනුවර පැවැති ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගය. උමාර් ගුල් හෝ රාඕ ඉෆ්ටිකාර් (Rao Iftikhar) මං ළගට ඇවිත් ඇහුව කොහොමද මම පන්දුව දෝලනය කරේ කියල. ඔවුන්ට ඒක ඒ තරගයේ දී කරගන්න බැරි වුණා. මම දන්නෙ නැහැ මම කඩිමුඩියෙ හිටියද? සමහරවිට ඒගොල්ලො(ශ්‍රී ලංකා පිතිකරුවන්) කඩිමුඩියෙ හිටියද කියල.(සිනාසෙමින්) මම ඒ තරගයේ දී දවා ගත්ත කඩුලු 11 විනෝද ජනකයි.”

තමාට ක්‍රීඩාංගනයෙන් පිටතදී මීට වඩා හොදින් හැසිරීමට තිබූ බවත්, එය එසේ නොවීම තමා මෙවැනි තත්ත්වයකට පත් කළ බවත්, මෙම සම්මුඛ සාකච්ඡාවේ දී සදහන් කිරීමට මොහොමඩ් අසීෆ් අමතක කළේ නැහැ.

ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ නවතම පුවත් එසැණින් දැන ගැනීම සදහා අපගේ ෆේස්බුක් පිටුව හා මෙතනින් සම්බන්ධ වන්න

Leave a comment