Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද – ශම්මි යළි සභාපතිධූරයට පත්වන ලකුණු

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි වසර දෙකක කාලය සදහා නිලධාරීන් පත් කර ගැනීම වෙනුවෙන් වන නිලවරණය අද(20) පැවැත්වෙනවා.

මෙම නිලවරණය ‘Zoom’ තාක්ෂණය ඔස්සේ පෙරවරු 10ට ආරම්භ වන අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ ඉතිහාසයේ තාක්ෂණය භාවිතයෙන් පවත්වන පළමු නිලවරණය වශයෙන් ද මෙම ක්‍රිකට් නිලවරණය ඉතිහාස ගත වනු ඇති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ පවතින ‘බුද්ධි කේන්ද්‍රය’ නිලවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය බවට පත්ව තිබෙනවා.

නිලවරණය සඳහා නාම යෝජනා භාර දීම පසුගිය පෙබරවාරි 24 වැනිදා පස්වරු 3.30 ට අවසන් වුණා.

ඒ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට පාර්ශව හතරකින් නාම යෝජනා භාර දී තිබුණා.

හිටපු සභාපති ශම්මි සිල්වා මහතා සභාපතිධූරය සදහා නාමයෝජනා භාර දුන් අතර, එම පාර්ශ්වයෙන් ලේකම් තනතුරට නාම යෝජනා භාර දුන්නේ මොහාන් ද සිල්වා මහතායි.

උප සභාපති තනතුර සදහා ජයන්ත ධර්මදාස මහතා සහ රවීන් වික්‍රමරත්න මහතා නාමයෝජනා භාර දුන්නා.

ක්‍රිෂාන්ත කපුවත්ත මහතා උප ලේකම් ධුරයටත්, ලසන්ත වික්‍රමසිංහ මහතා භාණ්ඩාගාරික තනතුරටත්, සුජීව ගොඩලියැද්ද මහතා උප භාණ්ඩාගාරික තනතුර සඳහාත් නාම යෝජනා භාර දි තිබුණා.

එම පාර්ශවයේ ප්‍රතිවාදීන් බවට පත් වූ හිටපු උප සභාපතිවරයකු වන කේ. මතිවානන් මහතා සභාපති තනතුරටත්, හිටපු ලේකම්වරයකු වන නිශාන්ත රණතුංග මහතා ලේකම් තනතුරටත්, ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායකයා වූ බන්දුල වර්ණපුර මහතා උප සභාපති තනතුරකටත් නාම යෝජනා භාර දී තිබුණා.

කෙසේ වෙතත්, ඔවුන් පසුගියදා සිය නාම යෝජනා ඉල්ලා අස් කර ගැනීමටයි පියවර ගත්තේ.

ඒ අනුව ඒක පාර්ශවීය නිලවරණයක් බවට මෙවර ක්‍රිකට් නිලවරණය මේ වන විට පත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ඡන්ද 147 කින් සමන්විත නමුත්, මෙවර නිලවරණය සඳහා වලංගු ඡන්ද සංඛ්‍යාව වන්නේ 139 ක්.

තෝරා ගනු ලැබූ ක්‍රීඩා සමාජ කිහිපයක් යොදා ගනිමින් ඊයේ (19) දිනයේදී  නිලවරණය සදහා පෙර පුහුණුවක් ද සිදු කළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ALSO READ : නිළවරණයට මම ඇගිලි ගහන්නේ නැහැ : ක්‍රීඩා ඇමති නාමල්

Leave a comment