Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා – එංගලන්ත තරගාවලියේ රූපවාහිනී විකාශනය සිදු වෙන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලබන බදාදා (9) අලුයම දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිය වාර්ෂික මෙන්ම සංචාරක කොන්ත්‍රාත් ගිවිසුම් ද අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර ඇතත්, එය එළඹෙන තරග සංචරයට බලපෑමක් එල්ල නොකරනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

එමෙන්ම මෙරට පවතින කොරෝනා වෛරසයේ ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් ජූනි 8 වනදා පෙරවරු 4 සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලාංකාව රතු ලැයිස්තුගත කිරීමට බ්‍රිතාන්‍ය රජය පියවර ගෙන ඇති පසුබිමකයි මෙම තරග සංචාරය යෙදී ඇත්තේ.

ඒ අනුව බ්‍රිතාන්‍ය පුරවැසියන්ට සහ එරට පදිංචිකරුවන්ට හැර අවසන් දින 10 තුළ මෙරට රැදී සිටි සෙසු කිසිදු පුද්ගලයෙකුට එරටට පැමිණීමට හැකි වන්නේ නැහැ.

කෙසේ වෙතත්, ඉන් ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයට බලපෑමක් එල්ල නොවන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සදහන් කළේ.

මෙම තරග සංචාරයේ දී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර 20යි 20 තරග 3ක් සහ එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

පළමු 20යි 20 තරගය ජූනි 23 වනදා කාර්ඩිෆ් හී දී පැවැත්වෙනු ඇති.

ජූනි 24 වනදා දෙවන 20යි 20 තරගය ද එම ක්‍රීඩාංගනයේ දී ම පැවැත්වෙන අතර, තෙවැනි 20යි 20 තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ජූනි 26 වනදා සවුත්හැම්ටන් හී දී යි.

දෙරට අතර පළමු එක්දින තරගය ජූනි 29 වනදා ඩර්හැම්හී දී ද, දෙවැනි එක්දින තරගය ජූලි පළමු වනදා ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගනයේ දී ද, තෙවැනි එක්දින තරගය ජූලි 4 වනදා බ්‍රිස්ටල්හී දී ද පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මෙම තරග සංචාරයට අයත් තරග ශ්‍රී ලංකාව තුළ විකාශනය කිරීමේ අයිතිය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට හිමිව තිබෙනවා.

ඒ අනුව සියලු තරග චැනල් අයි නාලිකාව ඔස්සේ නැරඹීමේ අවස්ථාව මෙරට ප්‍රේක්ෂකයින්ට උදා වනු ඇති.

එංගලන්තයේ පැවැත්වෙන ජාත්‍යන්තර තරගවල ඉන්දීය කලාපීය රූපවාහිනී විකාශන අයිතියි හිමිව ඇත්තේ Sony Pictures Network India සමාගමටයි.

Leave a comment