Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාව ජයග්‍රහනයට කඩුලු 4ක් පිටුපසින්

Day 4 Report

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අද(24) නිමා වුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු ශ්‍රී ලංකාවට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 348ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටින කොදෙව්වන් කඩුලු 6ක් දැවී ලකුණු 52ක් ලබා සිටියා.

ඒ අනුව කොදෙව්වන් තරගය ජය ගැනීම සදහා තවත් ලකුණු 296ක් හෙට දිනයේ දී ලබා ගත යුතු අතර, ශ්‍රී ලංකාව තරගය ජය ගැනීමටනම් කඩුලු 4ක් දවා ගත යුතුයි.

හෙට දිනයේ දී ගාලු ප්‍රදේශයේ කාළගුණ තත්ත්වය අයහපත් නොවුණහොත් තරගය ජය ගැනීමේ වැඩි අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව තිබෙනවා.

දිනය නිමා වන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටි කෘමා බෝනර් ලකුණු 18ක් හා ජොෂුවා ද සිල්වා ලකුණු 15ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

කොදෙව් ඉනිමේ 6 වැනි කඩුල්ල දැවී ගියේ ලකුණු 18ක්ව තිබියදී වීම විශේෂත්වයක්.

පන්දු යැවීමේ දී රමේෂ් මෙන්ඩිස් කඩුලු 4ක් හා ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 2ක් බිද හෙලුවා.

වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් තරගය අද දිනය සදහා ආරම්භ වූයේ නියමිත වේලාවට වඩා පැයක පමණ ප්‍රමාදයකින් පසුවයි.

දිනය ආරම්භ කරන විට කඩුලු 9ක් දැවී ලකුණු 224ක් ලබා සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව් කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 230කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

ඒ, කොදෙව් ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ෂැනොන් ගේබ්‍රියල්ගේ (ලකුණු 2) කඩුල්ල දවා ගැනීමට ප්‍රවීන් ජයවික්‍රම සමත්වීමත් සමගයි.

ජොෂුවා ද සිල්වා නොදැවී ලකුණු 15යි. කොදෙව් ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූ නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් ලකුණු 41ක් හා ජර්මයින් බ්ලැක්වුඩ් ලකුණු 20ක් ලබා ගත්තා. ක්යිල් මේයර්ස් ලකුණු 45කටත්, ජේසන් හෝල්ඩර් ලකුණු 36කටත් දැවී ගිය අතර, රකීම් කෝන්වෝල් ලකුණු 39ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 40කට කඩුලු 4ක් හා රමේෂ් මෙන්ඩිස් ලකුණු 75කට කඩුලු 3ක් බිද හෙලුවා.

අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 191ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමටයි තීරණය කළේ.

පළමු ඉනිමේ දී ශතකයක් වාර්තා කළ දිමුත් කරුණාරත්න දෙවැනි ඉනිමේ දී ලකුණු 83ක් ලබා ගත්තා. ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී ලකුණු 69යි.

පන්දු යැවීමේ දී රකීම් කෝන්වෝල් හා ජොමෙල් වොරිකන් කඩුලු 2 බැගින් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 386ක්.

Leave a comment