Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාවේ සිට IPL යන්න ඉන්දියාවෙන් විශේෂ සහනයක්

ඉතිරි අයි.පී.එල් තරග සදහා ජෛව ආරක්ෂිත බුබුලු 14ක් නිර්මාණය කරනු ඇති.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින හා 20යි 20 තරගාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ට නිරෝධායන කාලයක් ගත නොකර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග සදහා ක්‍රීඩා කිරීමට අවසර ලබා දීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගාවලිය සදහා නිර්මාණය කරනු ලබන ජෛව ආරක්ෂිත බුබුලෙන් අදාළ ක්‍රීඩකයින්ට අයි.පී.එල් තරගාවලිය සදහා නිර්මාණය කෙරෙන ජෛව ආරක්ෂිත බුබුලකට හුවමාරු විය හැකියි.

එමෙන්ම මෑතකදී නිමා වූ ඉන්දු – ශ්‍රී ලංකා තරගාවලි ක්‍රීඩා කළ ක්‍රීඩකයින්ට ද එම ජෛව ආරක්ෂිත බුබුලෙන් අයි.පී.එල් තරගාවලියේ ජෛව ආරක්ෂිත බුබුලක් වෙත හුවමාරු වීමට අවසර ලබා දීමටයි තීරණය කර ඇත්තේ.

ඒ, අදාළ තරගාවලියට ක්‍රීඩා කළ ඉන්දීය ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති පසුබිමකයි.

මේ අතර, මේ වන විට ආරම්භ වී ඇති ඉන්දු – එංගලන්ත ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ට හා ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ට ද ඊට අදාළ බුබුලු තුළින් අයි.පී.එල් බුබුලු වෙත නිරෝධායනයකට ලක් නොවී පැමිණිය හැකියි.

අදාළ සියලු තරගාවලි සදහා එක්වන පුහුණු කාර්යය මණ්ඩල සාමාජිකයින්ට, ජාත්‍යන්තර විස්තර විචාරකයින්ට හා රූපවාහිනී විකාශන සාමාජිකයින්ට ද මෙම ක්‍රමවේදය වලංගු වන බව සදහන්.

කෙසේ වෙතත්, කිසිදු බුබුලකට ඇතුළත්ව නොමැති ක්‍රීඩකයින්ට සහ සෙසු පුද්ගලයින්ට අයි.පී.එල් තරගාවලියේ බුබුලක් වෙත ඇතුළු වීමට පෙර දින 6ක කාලයක් හෝටල් කාමර තුළ නිරෝධායනයට ලක් වීමට සිදු වනු ඇති.

කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර අතරමගදී අත්හිටුවීමට සිදු වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග ලබන සැප්තැම්බර් 19 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිතයි.

සැප්තැම්බර් දෙවනදා ආරම්භ වන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින හා 20යි 20 තරගාවලිය අවසන් වන්නේ සැප්තැම්බර් 14 වනදායි.

අයි.පී.එල් තරගාවලිය සදහා මෙතෙක් ශ්‍රී ලංකාවෙන් කිසිදු ක්‍රීඩකයෙකු මිලදී ගෙන නැහැ.

මේ අතර, ඉතිරි අයි.පී.එල් තරග සදහා ජෛව ආරක්ෂිත බුබුලු 14ක් නිර්මාණය කිරීමට ද නියමිතව තිබෙනවා.

කණ්ඩායම් 8 සදහා බුබුලු 8ක් ද, තරග නිළධාරීන් හා තරග කළමනාකරණ සාමාජිකයින්ට බුබුලු 3ක් ද නිර්මාණය කෙරෙන අතර, ඉතිරි බුබුලු 3 තරග විකාශන සාමාජිකයින්ට හා විස්තර විචාරකයින් වෙනුවෙන් නිර්මාණය කිරීමට නියමිතයි.

ජෛව ආරක්ෂිත බුබුලට අදාළ මාර්ගෝපදේශ උල්ලංඝනය කරන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද ඉන්දීය ක්‍රිකට් ආයතනය සදහන් කර තිබෙනවා.

Leave a comment