Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා – ඇෆ්ඝනිස්තාන ගැටුමට සියල්ල සූදානම් ; නරඹන්නේ කොහොමද ? තරගාවලියේ සියලු තොරතුරු මෙන්න

ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට(25) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී එම තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.

මෙම එක්දින තරගාවලිය අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතට ද අයත් වනවා‍. තරගාවලිය මීට පෙර පැවැත්වීමට සැලසුම් කර තිබුණේ 2023 වසරේ පෙබරවාරි මාසයේ දී යි. කෙසේ වෙතත්, කණ්ඩායම් දෙකේ ජාත්‍යන්තර තරග කාලසටහන සලකා බලා තරගාවලිය නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට තීරණය කෙරුණා.

පළමු එක්දින තරගය හෙට පැවැත්වීමෙන් අනතුරුව දෙවැනි තරගය එළඹෙන 27 වැනිදා ද, තෙවැනි තරගය එළඹෙන 30 වැනිදා ද පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ම පැවැත්වීමට නියමිතයි.

ඉතිහාසය

දෙරට අතර පැවැත්වෙන පළමු ද්විපාර්ශ්වික ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය වන්නේ මෙම තරගාවලියයි.

මීට පෙර ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර එක්දින තරග 4 ක් පවත්වා ඇති අතර, එහිදී ශ්‍රී ලංකාව තරග 3ක් ද, ඇෆ්ඝනිස්තානය එක් තරගයක් ද ජය ගැනීමට සමත් වුණා.

කණ්ඩායම් දෙකේ සංචිත 

තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය මෙතෙක් නිවේදනය කර නොතිබීම විශේෂත්වයක්. ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය සංචිතයට හිමිව නොතිබීම ඊට හේතු වී ඇති බවයි වාර්තා වුණේ.

තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න සංචිතයෙන් ඉවත් කිරීම ඇතුළු ප්‍රශ්නකාරී තේරීම් කිහිපයක් සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන් ශ්‍රී ලංකා සංචිතයට එලෙස ක්‍රීඩා අමාත්‍යවරයා අනුමැතිය ලබා දී නැහැ.

නිමා වූ 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී චාමික කරුණාරත්න සැලකිය යුතු දක්ෂතා නොදැක්වීම හේතුවෙන් මෙලෙස ඔහුව එක්දින සංචිතයෙන් ඉවත් කර තිබුණ ද, අවසන් වරට ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ එක්දින තරගාවලියේ දී (ඔස්ට්‍රේලියාවට එරෙහි) චාමික කරුණාරත්න තුන් ඉරියව්වෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත්ව තිබුණා.

එක්දින තරගවලදී දක්ෂතා අතර රැදී සිටි ක්‍රීඩකයෙකු එක්දින සංචිතයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවලදී බොහෝ පාර්ශවවල දැඩි විවේචන එල්ල වනු දක්නට ලැබුණා.

ඒ අනුව ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට චාමික කරුණාරත්න ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ලිඛිතව විමසීමක් සිදු කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අමාත්‍යංශයේ නිළධාරීන් වෙත උපදෙස් ලබා දීමක් ද සිදු කර තිබුණා.

තරගාවලිය සදහා නම් කර ඇති බවට වාර්තා වූ ශ්‍රී ලංකා සංචිතය සලකා බැලීමේ දී පැතුම් නිස්සංක සමගින් හෙට තරගයේ දී කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමට ඉඩ පවතිනවා.

මේ වන විට 20යි 20 තරගවලදී ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කරන කුසල් මෙන්ඩිස් පසුගිය ජනවාරි මාසයේ දී පැවැති ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින තරගාවලියේ දී ද ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළා.

නම් කර ඇති බවට වාර්තා වන ශ්‍රී ලංකා සංචිතය :

Dasun Shanaka (C), Pathum Nissanka, Kusal Mendis, Charith Asalanka, Dhananjaya de Silva, Bhanuka Rajapaksa, Dinesh Chandimal, Ashen Bandara, Wanindu Hasaranga, Dunith Wellalage, Maheesh Theekshana, Dananjaya Lakshan, Kasun Rajitha, Lahiru Kumara, Pramod Madushan, Asitha Fernando

හෂ්මටුල්ලාහ් ශහීඩිගේ නායකත්වයෙන් යුත් ඇෆ්ඝනිස්තාන සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්.

ගුල්බදීන් නයිබ් හා මෙතෙක් ජාත්‍යන්තර එක්දින වරම් දිනා නොමැති 18 හැවිරිදි නූර් අහ්මඩ් සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්.

ඇෆ්ඝනිස්තාන සංචිතය :

Hashmatullah Shahidi (c), Rahmat Shah (vc), Rahmanullah Gurbaz (wk), Azmatullah Omarzai, Fareed Ahmad, Fazalhaq Farooqi, Gulbadin Naib, Ibrahim Zadran, Ikram Alikhil (wk), Mohammad Nabi, Mujeeb Ur Rahman, Najibullah Zadran, Noor Ahmad, Rashid Khan, Riaz Hassan, Shahidullah Kamal, Yamin Ahmadzai, Zia-ur-Rehman

තරගාවලියේ තරග තීරකවරයා ලෙස රංජන් මඩුගල්ල මහතා කටයුතු කරනවා.

රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැනිබල් හා නිටින් මැනන් යන මහත්වරුන් විනිසුරුවන් ලෙස කටයුතු කිරීමට නියමිතයි.

තරග නැරඹිය හැකි වන්නේ කෙසේ ද?

තරගාවලියේ මෙරට දේශීය රූපවාහිනී විකාශන අයිතිය හිමි කර ගෙන ඇත්තේ ‘සියත TV’ නාලිකාවයි.

එමෙන්ම Ten Cricket, Sony Sports Ten 5 හා Sony Sports Ten 5 HD යන නාලිකා ඔස්සේ ද තරගාවලිය නැරඹිය හැකියි.

  • Dialog TV : Ch. No. 69 | Ch. No. 76
  • Peo TV : Ch. No.44 | Ch. No. 317 (HD) |Ch. No. 37 | Ch. No. 318 (HD)

ශ්‍රී ලංකා ක්‍රිකට් YouTube නාලිකාව ඔස්සේ ද තරගාවලිය සජීවීව නැරඹීමේ අවස්ථාව හිමිවන අතර, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඔස්සේ සජීවී විස්තර විචාරයට සවන් දිය හැකියි.

තරගාවලිය ලොව පුරා නැරඹිය හැකි අයුරු –

  • India: Sony Sports Ten 5 & Sony LIV
  • Rest of sub-continent minus India: Ten Cricket + Sony Liv
  • US: Willow TV (TV & digital)
  • Africa & Sub-Saharan Africa: Super Sport (TV & digital)
  • Middle East: Sony LIV
  • UK: Hum Masala
  • Other Territories – Sony LIV & ICC-TV

ප්‍රවේශ පත්‍ර මිලදී ගන්නේ කොහොමද ?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයෙන් පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා ඕනෑම දිනකදී ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවියෙන් ද ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකියි.

කෙසේ වෙතත්, පල්ලේකැලේ ක්‍රීඩාංගනයෙන් ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි වන්නේ තරග නොපැවැත්වෙන දිනවලදීයි.

තරග පැවැත්වෙන දිනවලදී බලගොල්ල අභීත ක්‍රීඩාංගනයෙන් ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි අතර, පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා ඒ සදහා කාලය වෙන් කර තිබෙනවා.

රුපියල් 500, රුපියල් 2000, රුපියල් 4000 හා 5000 යන මිල ගණන් යටතේ ප්‍රවේශ පත්‍ර අලෙවි කෙරෙනවා.

Show Comments (2)