Ultimate magazine theme for WordPress.

වසර 39 ක ලාංකීය ටෙස්ට් ඉතිහාසයට දිමුත් හා තිරිමාන්නගෙන් නව වාර්තාවක්

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න අද ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා පොත් අලුත් කිරීමට සමත් වුණා.

ඒ, සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාපිටියේදී අද (29) ආරම්භ වූ දෙවන හා අවසාන ටෙස්ට් තරගයේ දී යි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පළමු කඩුල්ල සදහා ද්විත්ව ශතක සබදතාවයක් ගොඩ නැගීමට නායක දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න සමත් වුණා.

ඔවුන් දෙදෙනා අතර ප්‍රථම කඩුල්ලට ලකුණු 209 ක විශිෂ්ඨ ආරම්භක සබදතාවක් ගොඩනැගුණු අතර, දිමුත් කරුණාරත්න ලකුණු 118(190) ක් ලබා සිටියදී සොරිෆුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ දැවී යාමත් සමගයි එම සබදතාවය බිද වැටුණේ.

ඒ අනුව දිමුත් සමගින් තිරිමාන්න වාර්තා පොත් අලුත් කරනු ලැබුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් පිටියේදී නොකඩවා ඉනිම් තුනකදී ශතකයට වැඩි ආරම්භක සබදතාවක් ගොඩනගන ලද ප්‍රථම පිතිකරණ යුගලය ලෙසයි.

බංග්ලාදේශය සමග පැවති ප්‍රථම ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ එකම ඉනිම වූ පළමු ඉනිමේ දී ද ආරම්භක කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා ලකුණු 114 ක සබදතාවක් ගොඩනැගීමට සමත් වුණා.

එමෙන්ම බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවති අවසන් ටෙස්ට් තරගයේ දෙවන ඉනිම තුළද ලකුණු 101 ක අනර්ඝ ආරම්භක සබදතාවක් ගොඩනැගීමට මෙම පිතිකරණ යුගලය සමත්ව තිබුණා.

වසර 39 ක ලාංකීය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ මෙවැනී දස්කමක් දැක්වීමට කිසිදු ආරම්භක පිතිකරණ යුගලයක් මෙතෙක් සමත්ව තිබුණේ නැහැ.

Leave a comment