Ultimate magazine theme for WordPress.

වසර 22කට පසු එංගලන්තයට එරෙහිව නවසීලන්තයට ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයක්

Match Report

එංගලන්තයේ දී එංගලන්තයට එරෙහිව මෙම ශතවර්ෂයේ දී ලැබූ පළමු ටෙස්ට් තරගාවලි ජය වාර්තා කිරීමට නවසීලන්තය අද(13) සමත් වුණා. ඒ, දෙරට අතර පැවැති දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයෙන් නවසීලන්තය කඩුලු 8ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

තරගය ජය ගැනීම සදහා නවසීලන්තයට ලකුණු 38ක ඉලක්කයක් හිමි වූ අතර, එය ඔවුන් පසු කර ගියේ කඩුලු 2ක් දැවී සිටියදීයි. නායක ටොම් ලේතම් නොදැවී ලකුණු 23ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී ස්ටුවට් බ්‍රෝඩ් සහ ඔලී ස්ටෝන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

දෙරට අතර බර්මිංහැම්හී දී පැවැති මෙම ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය සදහා අද(13) තරගය ආරම්භ කරන විට එංගලන්තය සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 122ක්. කෙසේ වෙතත්, ඔවුන්ගේ අවසන් කඩුල්ල ලෙස ලකුණු 15ක් ලබා සිටි ඔලී ස්ටෝන් අද දිනයේ යවනු ලැබූ (ට්‍රෙන්ට් බෝල්ට් විසින්) පළමු පන්දුවෙන්ම දැවී ගියා.

එංගලන්ත දෙවැනි ඉනිම ඊයේ ආරම්භ කළ රෝරි බර්න්ස් ලකුණු නොලබා දැවී ගිය අතර, ඩොම් සිබ්ලි ලකුණු 8කට දැවී ගියා. නම් දැරූ පිතිකරුවන් අතරින් එංගලන්තය වෙනුවෙන් ලකුණු 20 සීමාව පසු කළේ ඔලී පෝප් පමණයි. ඔහු ලකුණු 23කට දැවී ගිය අතර, වේග පන්දු යවන ක්‍රීඩක මාර්ක් වුඩ් ලකුණු 29ක් රැස් කළා. සැක් ක්‍රව්ලි ලකුණු 17යි.

පන්දු යැවීමේ දී මැට් හෙන්රි සහ නෙයිල් වෑග්නර් කඩුලු 3 බැගින් දවා ගනිද්දී අජාස් පටෙල් හා ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 2 බැගින් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය සියලු දෙනා දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 303ක්. අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය සියලු දෙනා දැවී ලකුණු 388ක් ලබා ගත්තා.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීම හේතුවෙන් තරගාවලියේ ජය නවසීලන්තයට හිමි වූයේ තරග 1-0ක් ලෙසයි.  නවසීලන්තය අවසන් වරට එංගලන්තයේ දී එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කර තිබුණේ 1999 වසරේ දී යි.

Day 1 Report

Day 2 Report

Day 3 Report

Leave a comment