Ultimate magazine theme for WordPress.

වසර 18කට පසු දකුණු අප්‍රිකාව පරදා පාකිස්තානයට ටෙස්ට් තරගාවලි ජයක්

Match Report

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැති තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගනිමින් වසර 18කට පසුව දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරගාවලියක් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම අද(8) සමත් වුණා.

ඒ, රාවල්පින්ඩිහි පැවැති දෙවන ටෙස්ට් තරගය ජය ගැනීම සදහා ලකුණු 370ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකා කණ්ඩායමේ සියලු දෙනා තරගයේ අවසන් දිනය වූ අද දිනයේ දී ලකුණු 274කට සීමා වීමත් සමගයි.

අද දිනය ආරම්භ කරන විට දකුණු අප්‍රිකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 127ක් ලබා සිටි අතර, ඔවුන්ට තරගය ජය ගැනීම සදහා අවශ්‍යව තිබූ ලකුණු සංඛ්‍යාව 243ක්.

ඒ අනුව ජයග්‍රහනය සදහා කණ්ඩායම් දෙක අතර ප්‍රබල සටනක් නිර්මාණය වී තිබුණ ද, හසන් අලීගේ සහ ශහීන් ශාහ් අෆ්රිඩිගේ සුපිරි පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකා කණ්ඩායමෙන් ජයග්‍රහනය ගිලිහී ගියා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ඒඩ්න් මාක්‍රම් ලකුණු 108ක් රැස් කළ අතර, රසී වැන් ඩර් ඩුසේන් ලකුණු 48ක් සහ ටෙම්බා බවුමා ලකුණු 61ක් ලබා ගත්තා.

දකුණු අප්‍රිකාවට තරගයේ ජය ගිලිහී යාමට ප්‍රබල හේතුවක් බවට පත් වුණේ ඒඩ්න් මාක්‍රම් සහ නායක ක්වෙන්ටන් ඩී කොක්(0) පිට පිට පන්දු දෙකකදී දැවී යාමයි.

පන්දු යැවීමේ දී හසන් අලී කඩුලු 5ක් සහ ශහීන් ශාහ් අෆ්රිඩි කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව පාකිස්තානයට මෙම තරගයෙන් ලකුණු 95ක ජයක් හිමි වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 272ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව ලබා ගත් ලකුණු සංඛ්‍යාව 201ක්.

අනතුරුව පාකිස්තානය සිය දෙවන ඉනිමට ලකුණු 298ක් ලබා ගත්තා.

තරගයේ වීරයා ලෙස හසන් අලී සම්මානයෙන් පිදුම් ලැබූ අතර, තරගාවලියේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ මොහොමඩ් රිස්වාන්.

Leave a comment