Ultimate magazine theme for WordPress.

වර්ෂාවේ බාධා මැද පැතුම්ගෙන් හුදෙකලා ඉනිමක් – සිව්වන දිනයේ ආරම්භක වේලාවේත් වෙනසක්

Day 3 Report

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය මෙරට වේලාවෙන් අද(1) අලුයම නිමා වුණේ තරගයේ වැඩි ගෞරව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හිමි කර දෙමින්.

අවස්ථා කිහිපයකදී ම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තෙවැනි දිනයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 42.1ක් පමණයි.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී ලකුණු 250ක් ලබා සිටි අතර, ඒ අනුව ඔවුන් මේ වන විට කොදෙව් පළමු ඉනිමට වඩා පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 104ක්.

පළමු තරගයේ දී ශතකයක් වාර්තා කළ පැතුම් නිස්සංක නොදැවී ලකුණු 49ක් ලබා හුදෙකලා සටනක නිරත වෙමින් සිටිනවා.

දිනයේ පළමු කඩුල්ල ලෙස දිනේෂ් චන්දිමාල් ලකුණු 44කට දැවී ගියේ ෂැනොන් ගේබ්‍රියල් යොමු කළ කෙටි පන්දුවකට අනවශ්‍ය පහරක් එල්ල කිරීමට යාමෙන්.

ධනංජය ද සිල්වා ලකුණු 39කට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගනිමින් දවා ගැනීමට ජර්මයින් බ්ලැක්වුඩ් සමත් වුව ද, එය දැවී යාමක් නොවන බව පුනරූපනවලින් දක්නට ලැබුණා.

ධනංජය විසින් විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය (DRS) එම අවස්ථාවේ දී යොදා ගත්තේනම් ඔහුට තවදුරටත් පන්දුවට පහර දීමේ අවස්ථාව අනිවාර්යයෙන් හිමි වන නමුත්, ඔහු ඒ සදහා යොමු නොවීම බොහෝ දෙනෙකු මවිතයට පත් කළ කරුණක්.

ඉනිම ආරම්භ කළ නායක දිමුත් කරුණාරත්න එක් ලකුණකට දැවී ගිය අතර, ළහිරු තිරිමාන්න සිය 9 වන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 55කට දැවී ගියා.

ඕෂද ප්‍රනාන්දු ලකුණු 18ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 20ක් රැස් කළා.

පන්දු යැවීමේ දී  අල්සාරි ජෝෂප් සහ ජේසන් හෝල්ඩර් කඩුලු දෙක බැගින් බිද හෙලූ අතර, කෙමා රෝච්, ෂැනොන් ගේබ්‍රියල්, ක්යල් මේයර්ස් සහ ජර්මයින් බ්ලැක්වුඩ් එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

තෙවැනි දිනයට වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වීම හේතුවෙන් සිව්වන දිනය සදහා තරගය ආරම්භ කරන වේලාව ද සංශෝදනය කර තිබෙනවා.

ඒ අනුව තරගය මෙරට වේලාවෙන් අද(1) රාත්‍රී 7ට ආරම්භ කිරීමට නියමිතයි.

තරගයේ අවසන් දිනය වන හෙට දිනයේ දී ද තරගය එම වේලාවටම, එනම් නියමිත ආරම්භක වේලාවට වඩා මිනිත්තු 30කට පෙර ආරම්භ කරනු ඇති.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩාමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව්වන් සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 354ක්.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් සිය 9 වන ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 126කට දැවී ගියේ හතරේ පහර 13ක් ඉනිමට එක්කරමින්.

රහ්කීම් කෝන්වෝල් ලකුණු 73ක්, ක්යිල් මේයර්ස් ලකුණු 49ක් සහ ජේසන් හෝල්ඩර් ලකුණු 30ක් රැස් කළා.

පන්දු යැවීමේ දී සුරංග ලක්මාල් කඩුලු 4ක් සහ දුෂ්මන්ත චමීර කඩුලු 3ක් බිද හෙලුවා.

Leave a comment