Ultimate magazine theme for WordPress.

වනිදුට කෝටියක මූලික වටිනාකමක්; IPL වෙන්දේසියට ශ්‍රී ලංකාවෙන් 36ක් ලියාපදිංචි වෙයි

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ කටයුතු පසුගිය 20 වැනිදා අවසන් වුණා.

ඒ අනුව තරගාවලි සංවිධායකයින් අද(22) නිවේදනය කළේ ක්‍රීඩකයින් 1,214 දෙනෙකු වෙන්දේසිය සදහා ලියාපදිංචි වී ඇති බවයි.

ඒ අතරට ඉන්දීය ක්‍රීඩකයින් 896 දෙනෙකු හා විදෙස් ක්‍රීඩකයින් 318 දෙනෙකු ඇතුළත්.

ලියාපදිංචි වූ ක්‍රීඩකයින් අතරින් 270 දෙනෙකු ජාත්‍යන්තර වරම් හිමි කර ගෙන ඇති ක්‍රීඩකයින් වුවත්, 903 දෙනෙකු ජාත්‍යන්තර වරම් මෙතෙක් හිමි කර ගෙන නැහැ.

ටෙස්ට් වරම් දිනා නොමැති රටවල ක්‍රීඩකයින් 41 දෙනෙකු ද වෙන්දේසිය සදහා ලියාපදිංචි වී තිබෙනවා.

ක්‍රීඩක වෙන්දේසිය සදහා වැඩිම ක්‍රීඩකයින් පිරිසක් ලියාපදිංචි වී ඇත්තේ ඔස්ට්‍රේලියාවෙන්. එම ප්‍රමාණය 59ක්.

දකුණු අප්‍රිකාවෙන් ක්‍රීඩකයින් 48 දෙනෙකු ද, බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලින් ක්‍රීඩකයින් 41 දෙනෙකු ද, ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 36 දෙනෙකු ද වෙන්දේසිය සදහා ලියාපදිංචි වී තිබෙනවා.

ක්‍රීඩක වෙන්දේසිය සදහා ක්‍රිස් ගේල්, බෙන් ස්ටොක්ස්, මිචෙල් ස්ටක්, ජොෆ්ර ආචර්, සෑම් කරන්, ටොම් කරන් හා ජෝ රූට් වැනි ක්‍රීඩකයින් ඉදිරිපත්ව නැහැ.

ඉන්දීය රුපියල් කෝටි දෙකක මූලික වටිනාකමක් හිමිවන ක්‍රීඩක ලැයිස්තුවට ක්‍රීඩකයින් 49 දෙනෙකු ඇතුළත් අතර, ඒ අතරට ඉන්දීය ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.

ආර්. අශ්වින්, යුස්වේන්ද්‍ර චහෙල්, ශිකර් ධවාන්, ෂ්රෙයස් අයියර්, ඉෂාන් කිෂන්, සුරේෂ් රයිනා, මොහොමඩ් ෂාමි වැනි ඉන්දීය ක්‍රීඩකයින් මෙන්ම ඩේවිඩ් වෝනර්, මිචෙල් මාෂ්, ස්ටීව් ස්මිත්, පැට් කමින්ස්, මැතිව් වේඩ්, ඇඩම් සම්පා, ශකිබ් අල් හසාන්, මුස්ටර්ෆිසුර් රෙහ්මාන්, ජේසන් රෝයි, ට්‍රෙන්ට් බෝල්ට්, ක්වෙන්ටන් ඩී කොක්, ෆෆ් ඩු ප්ලෙසිස්, කාගිසෝ රබාඩා, ඩ්වේයන් බ්‍රාවෝ, ඉම්රාන් තහීර්, එවින් ලුවිස්, ඔඩියන් ස්මිත් වැනි විදෙස් ක්‍රීඩකයින් ද කෝටි දෙකක මූලික වටිනාකමක් සහිත ක්‍රීඩක කාණ්ඩයට ලියාපදිංචි වී තිබෙනවා.

20යි 20 ශ්‍රේණිගත කිරීම්හි ලොව අංක එකේ පන්දු යවන්නා වන ශ්‍රී ලංකාවේ වනිදු හසරංග ඉන්දීය රුපියල් කෝටියක මූලික වටිනාකමක් සහිත කාණ්ඩයට ලියාපදිංචි වී ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය ලබන 12 හා 13 යන දිනවල බැංගලෝර් හී දී පැවැත්වීමට නියමිත අතර, සෑම කණ්ඩායමකටම උපරිම වශයෙන් ක්‍රීඩකයින් 25 දෙනෙකුගෙන් යුත් සංචිතයක් සකස් කර ගත හැකියි.

තරගාවලියට එක්වන කණ්ඩායම් 10 විසින් මේ වන විටත් ක්‍රීඩකයින් 33 දෙනෙකු රදවා ගැනීමට හා මිලදී ගැනීමට කටයුතු කර තිබෙනවා.(සම්පූර්ණ ලැයිස්තුව පහතින්)

  • විවිධ රටවලින් ක්‍රීඩකයින් ලියාපදිංචි වී ඇති අයුරු –

Afghanistan 20, Australia 59, Bangladesh 9, England 30, Ireland 3, New Zealand 29, South Africa 48, Sri Lanka 36, West Indies 41, Zimbabwe 2, Bhutan 1, Namibia 5, Nepal 15, Netherlands 1, Oman 3, Scotland 1, UAE 1, USA 14

  • ඒ ඒ කණ්ඩායම් විසින් රදවාගෙන හා මිලදී ගෙන ඇති ක්‍රීඩකයින් –
IPLT20
Leave a comment